Thursday, August 11, 2011

ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2


ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

අවිද්‍යාව හේතු කොට ගෙන සංඛාරා ඇති වේ.....

ලොව ජීවත් වන බොහෝ ජනයා ජීවත් වන්නේ ඉඳුරන් පිනවීම සඳහාය. ඔවුන් සිතා සිටින්නේ ජීවිතයේ හරය ඉඳුරන් පිණවීම බවය.  නිවණ සහ පරලොව ගැන දන්නා ස්වල්ප දෙනා පමණක් පින් දහම් කිරීමේ නියැලෙති.  මුදල් හදල් වතුපිටි එකතු කර ගැනීම ජීවිතයේ හරය කොට ගත් ඇත්තෝ බෞද්ධ රටක් වන අපේ ලංකාවේද අපමණය.  මුදල් එකතු කර ගැනීමට ඔවුන් නොයෙක් අන්දමින්., කටයුතු කරති.  ඔවුන්ට සාරධර්ම නැත.  නීතියක්ද නැත.  අනුකම්පා දයා මෛත්‍රී යන බෝසත් ගුණාංගද නැත. කෙසේ හෝ සිය මඩිය තර වීනම් අවශ්‍ය එපමණකි.  පසුවට වෙන දේ ගැන සිතන්නේද නැත. කවදා හෝ මිය යන බව සිතන්නේද නැත.   තමා සදාතනිකව ජීවත් වෙයි යන හැඟීම් වලින් යුතුව සියලු දේ කරයි.    ඒ ගැන සදාචාරවත් ලෙස කථා කිරීමට පවා අද දවසේ නොපිලිවන.  ඔවුන් අනන්ත අප්‍රමාණ ප්‍රේතාත්මවල තිරශ්චීන යෝනි, නිරය වැනි දුක් සහිත භවයන්හි   උත්පත්තිය ලබා කල්ප ගනන් දුක් විඳිති.  තන්හා සැඩ පහර තරණය නම් වූ වෙබ් අඩවියේ මෙවැනි දුෂ්චරිත වලින් යුතු දේශපාලන්ඥයින් ඇතුලු වෙනත් අධාර්මිකව විසූ අය ඉපදී දුක් විඳින අන්දම යම් කිසි ලෙසකට විස්තර කොට ඇත. 

නිදහසෙන් පසු මේ ලංකාවේ බිහි වූ කිසිම දේශපාලනඥයෙක් නොකටයුතු දේවල් නොකොට ඇතැයි කිසිවෙකුටක් කිව නොහැක.  බලය අයුතු ලෙස පාවිච්චි කරන්නෝ අනන්තයහ.  මේ සියල්ල සිදු   වන්නේ කුමක් නිසාද?  ඒ තෘෂ්ණාව නිසාය.  බල ලෝභය නිසා මුසාවාද කිය වේ.  අසාධාරණ ක්‍රියා සිදු වේ.  නොපණත් කම් සිදු වේ.  කාමුක අපරාධ සිදු වේ.  මේ සිදු වන්නේ අවිද්‍යාව නිසාය.  සංඛාරා යනු 'වෙන කිසිවක් නොව සිතිවිලිමය.  "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි...." වශයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කලේද  මේ සිද්ධාන්තයමය  ලොව ඇති සියලු බල වේගයන්ටම වඩා බලවන්නේද සිතුවිලිමය.    සිතිවිලි පැන නැගුන පසු කයෙන් වචනයෙන් හෝ සිතෙන් තවත් දේවල් පැන නගිනු ඇත.  ප්‍රාණඝාතයක් හෝ වේවා,  දානමය කටයුත්තක් වේවා, පැන නගින්නේ එකලෙසය.  චේතනාවකට පෙරාතුව ඒ පිලිබඳව පූර්ව කල්පනයක් පහල වෙයි.  සංඛාරා කියන්නේද  ඒ පූර්ව කල්පනයටය.  ඒ පූර්ව කල්පනය, කර්මය වශයෙන්ද හැඳින් විය හැක.  එවිට ඒ පූර්ව කල්පනය ක්‍රියාන්විත කිරීම වචනයෙන්, කයෙන් හෝ සිතෙන් සිදු වෙයි.  දන් දීම් ආදී පුණ්‍ය ක්‍රියාවන්හි හෝ ප්‍රාණඝාතාදී අපුණ්‍ය ක්‍රියාවන්හිද චේතනාවන් පැනනගින්නේ මේ අන්දමටය.  පහල වන සිතිවිලි අනුව සිතිවිල තුන් වැදෑරුම් වෙයි.  1. පුඤ්ඤාභිසංඛාර 2. අපුඤ්ඤාභිසංඛාර 3. අනේඤ්ජාභිසංඛාර වශයෙන් එ විස්තර කෙරෙයි.  පුඤ්ඤ යන වචනය අපි කාටත් පුරුදු වචනයකි.  සාමාන්‍ය තේරුම 'පින' වශයෙන් වුවද හැඳින්විය හැක.  'අභිසංඛාර' යනු යම්කිසි ක්‍රියාවකට තුඩුදී ඉපදෙන සිතිවිල්ලයි.  පුඤ්ඤාභිසංඛාර යනු සිත් පිරිසිදු කරන ක්‍රියාවකට තුඩුදෙන සිතිවිල්ලයි.  දානය පුඤ්ඤාභිසංඛාර සිතිවීල්ලකි. පිරිසිදු සිතකින් දානයක් දීමෙන් සිත පිරිසිදු වේ.  චේතනාව කර්මය වන හෙයින් මෙයද කර්මයෙකි.  පුණ්‍ය කර්මයෙකි. එහි ආනිසංසද යහපත්ය.  මෙලොව වශයෙන් සැපසම්පත් ලැබීමට හෝ නොයෙක් සැපසම්පත් සහිතව දෙව් ලොවක ඉපදීමට හෝ ඒ පුණ්‍ය කර්මය හේතු වාසනා වෙයි.  ශීලය සහ භාවනාද, පුඤ්ඤාභිසංඛාර ගණයට අයත් කර්මයන්ය.  දානයක උපරිම ඵලය නෙලා ගැනීමට නම් කිසිම ද්වේශයක්, හෝ දන් දුන් දෙයට කිසිම තණ්හාවක් නැතිව එය කල යුතුය.  දානයට පෙරද, දානය දෙන අතරතුරද,  ඊට පසුවද පිරිසිදු සිතෙන් කිසි තෘෂ්ණාවක් නොමැතිව කලයුතුය.   එසේම ඒ දානය ස්වේච්ඡා සිතකින් දුනි නම් එහි ආනිසංසද බලවත්ය.  ඊට අසංඛාරික කුසලයක් වශයෙන් හැඳින්වේ.  වෙන කෙනෙක් විසින් දානය දීමට සිත යොමු කලේ නම් ඊට සසංඛාරික කුසලයක් වශයෙන් හැඳින් වේ.  සිතේ හට ගන්නා වූ සිතිවිලි අතර අකුසල කර්ම සාමාන්‍යයෙන් වැඩිය. ඒ ධර්මය හරිහැටි නොදත් අය වැඩි නිසාය.  අකුසල කර්ම කලවුන් මෙලොව ඉපදී ඇත්නම්, ඔවුහු දුප්පත්ව ඉපදෙති, විරූපිව උපදිති, රෝගීව ඉපදෙති. එසේත් නැත්නම් ප්‍රේත භවයෙක, හෝ තිරිසන් ලෝකයේ හෝ කර්මයේ බරපතල කමේ අන්දමට නිරයේ හෝ උපත ලබති. 

සියලු අකුසල කර්ම වල මූලය වන්නේ ලෝභ ද්වේශ සහ මෝහය යන කරුණු වෙයි.  සමහරු මේ මූලික කරුණු හැරුනු විට ඒ සමග වැරදි මතද හදා ගනිති.  මේ සිතුවිලි අනර්ථකාමී වෙයි.  කෝපය, අවිශ්වාසය,  බිය සැක කිරීම ආදී සිතිවිලි වල මුල ද්වේශය වෙයි.     ලෝභ මූල අකුසල් වැරදි මත සහිතවද, අසංඛාරික හෝ සසංඛාරික වද, සිතේ ඉපදිය හැක.  එසේම ඒවා ප්‍රීතිමත්වද (සෝමනස්ස සහගතම්) ප්‍රීතියක් නැතුව වුවද ඉපදිය හැක.    විචිකිච්චා හෙවත් සැකයද උද්දච්ච හෙවත් චංචල්භාවයද මෝහය නිසා ඇති වෙයි.  විචිකිච්චා යනු බුදු රජාණන් වහන්සේ ගැන හා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඇති අවිශ්වාසයයි.   චංචල භාවය (උද්දච්ච ) යනු සිතේ ඇති 'වැනීමයි' (මඩේ සිටවූ ඉන්නක් මෙන් )කෙසේ හෝ චංචල භාවය අපාය, ප්‍රේත, තිරිසන් ආදී ලෝකවල උපතකට නොදමයි.    

සාමාන්‍ය මනුශ්‍යයාගේ ස්වභාවය අකුසල් කෙරෙහි නැමී පවතී.  බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා ගිහියෙක් ශීල සම්පන්න භික්ෂූන්ට නින්දා අපහාස කලේය.   ඒ අකුසල් විපාක දීමක් වශයෙන් ඒ භික්ෂූන්ගේම වැසිකිලියේ ප්‍රේතයෙක්ව ඉපදී මුගලන් රහතන් වහන්සේ දිවැසින් දක්නා ලදුව,  අසත්පුරුෂ ආශ්‍රයෙන් තමා එසේ කල බව ඒ ප්‍රේතයා පැවසීය.  ආශ්‍රයෙන් කෙනෙක් නොමඟ ගිය හැකිය.  පවට බිය ඇති යම් කෙනෙක් යහලුවන්ගේ බල කිරීමට, නවීන පන්නයට අනුව විනෝදයට මසුන් ඇල්ලීම සඳහා යයි.  ඒ අවස්ථාවේ සිදුවන අකුසල් කිහිපයෙකි.   වෙන කෙනෙක් විසින් පවසන ලද නිසා ඒ අකුසලය අසංඛාරික වෙයි.  නමුත් මාලුවා පණ ඇති සතෙකි.  ඒ නිසා ඒ සත්වයා අල්ලාගෙන හුස්ම ගැනීමට අපහසුව සමහර විට පැය ගනණක් දුක් විඳියි. ඒ සඳහා ඇති වූ චේතනාවේ පටන් ඌ අල්වා ගන්නා උපක්‍රමය සිතේ පහල වීම් වශයෙන් අකුසල් චිත්ත පරම්පරාවක් පහල වෙයි.  ඒ අකුසල් සිත් පහල වූ සැටියේම මෙය අකුසලයකැයි දැන ක්‍රියාවට නොනැංවීම පුහුනු කරගත යුතුය.  ජීවිතය පුරා අකුසල් එකතු වී අපායට යන්නේ හෝ මිනිසත් බව ලැබුවත් අඩු පාඩු සහිතව උපදින්නේ පෙර කරන ලද පව් පලදෙන නිසාය. 

සත්‍යයත්, අසත්‍යයත් එකිනෙකට විරුද්ධය.  යමෙක් සත්‍යය පිලිගන්නේ නැත්නම් ඔහු පිලිගන්නේ අසත්‍යයයි.  චතුරාර්ය සත්‍යය ධර්මයෝ හරිහැටි නොදන්නා පෘතග්ජනයා ඒ සත්‍යයන් පිලිබඳව වැරදි නිගමන වලට එළඹෙති.   යම්කිසි දෙයකට තෘෂ්ණාව ඇතිවී ඒ වස්තුව ලද හොත් ඇති වන්නේ ප්‍රීතියකි.  මේ ප්‍රීතිය කරණ කොට ගෙන දුක්ඛ සත්‍යයේ සත්‍යය හෙවත් නියම ස්වභාවය නොපෙනී යයි.  මුලාව බිහි වන්නේ මෙලෙසය. ඒ වස්තුව නැතිවුවහොත් ඒ පිලිබඳව ශෝකයක් ඇති වේ.  එයිට වඩා වටිනා හෝ තවත් බොහෝ දේ කල හැකි තවත් වස්තුවක් වෙලඳ පොලට පැමිණි විට එය ලබා ගැනීම සඳහා වෙහෙසෙයි.  මේ කෙලවරක් නැති තන්හාවය.    සාමාන්‍ය මනුශ්‍යයාගේ මේ දුර්වලතාවය ප්‍රයෝජනයට ගෙන වෙලඳ භාණ්ඩ නිපදවන්නෝ නොයෙක් නොයෙක් මාදිලියේ වෙලඳ භාණඩ වෙලඳ පොලට එවති.  ඒ සියල්ලටම මුල තෘෂ්ණාව හැර වෙන යම් දෙයක් නොවේ.  මේ අවිද්‍යාව අභිභවා විද්‍යාව උපදවා ගත යුතුය.  ඉඳුරන් පිනවීමට උපයෝගී වන සියලු දේ අවසානයේ දුක ඇති කරන බව සිහි තබා ගත යුතුය. 

කර්මය පිලිබඳව විශ්වාසයක්, යම්කිසි සිතිවිල්ලක් නිසා ඇති කරවන ප්‍රතිඵලය දැනගත යුතුය.  අවම වශයෙන් සිතා ගත යුතුය.  බුදු රජාණන් වහන්සේගේ ගිහි උපසිකාවක් වන විශාඛා වරක් බුදු රජාණන් වහන්සේගෙන් පහත සඳහන් දානමය කටයුතු සඳහා අවසර පතා සිටියාය. 

1. ස්වාමීන් වහන්සේලාට ස්නානය  සඳහා අවශ්‍ය සළු පිලි පූජාව.

2.ආගන්තුකව පැමිණෙන ස්වාමීන් වහන්සේලාට දාන පූජාව

3. සංචාරක භික්ෂූන්ට දාන පූජාව

4. ගිලන්ව සිටින භික්ෂූන්ට දාන පූජාව

5. ගිලන් වූ භික්ෂන්ට උවටැන කරන  භික්ෂූන්ට දාන පූජාව

6. ගිලන් වූ භික්ෂූන්ට ඖෂධ

7. සංඝයා වහන්සේලාට කැඳ දානය.

8. තෙරණීන් වහන්සේලාට ස්නානය සඳහා සළුපිලි

මේ පූජාව විශාඛා උපාසිකාව ජීවත්ව සිටින තාක් කිරීමට බවත් පවසා සිටියාය.  බුදු රජාණන් වහන්සේ, මෙයින් විශාඛාව කුමක් බලාපොරොත්තු වන්නේදැයි ඇසූ විට, " ස්වාමීනි භාග්‍ය වතුන් වහන්ස, වස්සාන සමය අවසානයේ සතර දෙසින් භික්ෂු සංඝයා වහන්සේලා ඔබ වහන්සේ බැහැ දැක්මට මෙහි පැමිනෙන්නාහ.   ඒ භික්ෂූන් වහන්සේලා ඔබ වහන්සේ සම්ග සතුටු සාමීචියෙහි යෙදෙන අවස්ථා වල 'මේ මේ භික්ෂුන් වහන්සේ අප්වත්විනැයි පවසති.  එවිට ඒ භික්ෂූන් වහන්සේ කොතනක උත්පත්තිය ලද්දේදැයි ඔබ වහන්සේ වදාරන්නෙහිය.  එවිට ඒ භික්ෂ්හුන් වහන්සේ මා විසින් පුදන ලද දානය්, හෝ සළු පිලි පරිහරණය කල බව මම දන්නෙමි.  ඒ අනුස්මරණය මට ගෙනෙන්නේ ඉමහත් ප්‍රීතියකි. එයින් මගේ චිත්ත පාරිශුද්ධිය වැඩෙන්නේය. 

තවත් කොටසක් ලඟදීම.........

No comments: