Saturday 23 May 2009

ජපුර ඉන්දරේ, fashonable nonsense, LTTE සහ හුජ්ජා කිරීමේ නිදහස.


දෙමල ජාතිවාදය විසින් පෝෂනය කරන ලද LTTE යේ ප්‍රචන්ඩත්වය දකුනේ නලින්, චම්පික ද්විත්වය විසින් පෝෂණය කරනු ලැබු සිංහල ජාතිවාදය විසින් ඊටත් වඩා වැඩි ප්‍රචන්ඩත්වයකින් සුනුවිසුණු කර තිබේ. මේ සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ fashonable nonsense ලියැවෙද්දී ජපුර ඉන්දරේ විසින් ලියන ලද ලිපිය අපගේ නොමඳ පැසසුමට ලක්වෙයි. අනම් මනම් බයිලා වලින් තොරව ඉතා සරලාකාරයෙන් කෙරෙන ඉන්දරේගේ විග්‍රහය සිංහල සමාජයේ පොදු මතය වේවා යන්න අපගේ ප්‍රාර්තනයද වෙයි. නලින් -චම්පක මතවාදය මේ වන විට මතවාදීමය වශයෙන් ජයග්‍රහණය කර ඇති සේම ප්‍රතිවිරුද්ධ මතවාදයන්ද මේ වන විට ජෝක් වෙමින් තිබේ. ධ්‍රැවීකරනය වූ ලාංකීය සමාජය නිර්ධ්‍රැවීකරනය කල හැක්කේ පරාජිත ම්ලේඡත්වය වෙනුවෙන් fashonable nonsense වැමැරීමෙන් නොව ප්‍රායෝගික එකඟතා ලක්ෂ්‍යක් මත අන්තවාදී සියලු මතවාද පරාජය කිරීමෙනි.

අප අසා ඇති සරත් අය්යාගේ කතාව මේ fashonable nonsense වලට කදිම පිලිතුරක් වෙයි. සරත් අයියා දකුනේ පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කලේය. ඒ 1988 අවුරුද්දයි. ජ.වි.පෙ තම සන්නද්ධ සේනාංකය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා තම විරුද්ධවාදීන් බුරුතු පිටින් ඝාතනය කරමින් සිටි කාලයයි. අවාසනාවකට සරත් අයියා 71 කැරැල්ලේ ජවිපෙ සාමජිකයෙක්ව හිඳ සිරගතවී පුනරුත්තාපනය වී පැමිනියෙකි. පසු කලෙක ස්වයං විවේචනයක් ඉල්ලා ජවිපෙන් ඉවත්වු හෙතෙම ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් ලෙසද වැඩ කලේය. ජවිපෙ පමනක් නොව LTTE ය ඇතුලු බොහෝ සන්නද්ධ සංවිධාන තමන්ගෙන් වෙන්වී ගිය එකා ගැන පසු වන්නේ තම ප්‍රතිවාදියාට වඩා වැඩි වෛරයකිනි. මෙම කාලය තුල ජවිපෙ විසින් තම සංවිධානයෙන් ඉවත්වූ පැරනි සාමජිකයන්ද කිසිදු අනුකම්පාවකින් තොරව ඝාතනය කරමින් සිටියේය. සරත් අයියාටද වක්‍රාකාරයෙන් ආ තර්ජන වලින් කියැවුනේ වහාම සමසමාජ පක්ෂයෙන් හා එහි වැඩ කටයුතු වලින් ඉවත් වන ලෙසයි.
ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතිය කේවල් නොකරන්නට තරම් සෘජු ප්‍රතිපත්තියක සිටි සරත් අයියාද ජවිපෙට කට්ටි පනිමින් සැඟවී තම අඹුදරුවන්ගෙන් වෙන්ව ගත කර සති අන්තයේ පමණක් රහසේ නිවසට වන්නේය.

එක් සති අන්තයක මෙසේ නිවසට පැමිණි සරත් අයියා රෑ දෙගොඩහරි ජාමයේ ඇහැරී, සුලුදිය පහ කරනු වස් හඳ එලියේ තම වත්ත මායිමට ආවේ එලියේ සිහිල් සුලං වදිමින් සුලුදිය පහකිරීමේ ආස්වාදය විඳිනු පිනිසමය. තම කන අසලින් ඇදීයන්නේ ටී.56 කින් නිකුත්වන වෙඩි උණ්ඩ බව වටහා ගන්නට ඔහුට තත්පර කීපයක් ගතවිය. ඒ බැව් හරියටම වැටහෙන විට තම ඇඳිවත තෙමී ඇත්තේ සුලුදියෙන්ම පමනක් නොවන බව සැක හැර දැනගත්තේ නාස් පුඩු විදගෙන නැගෙන මඩ පුවක් ගඳෙනි.

දේශපාලනය කිරීමේ නිදහස , අඹුදරුවන් සමඟ ජීවත් වීමේ නිදහස ආදිය නැතිවන විටත් ඉවසීම ප්‍රගුණ කල සරත් අයියාට තම වත්තේ එලිමහනේ හුජ්ජා කිරීමේ නිදහස නැතිවන විට රතු ඉර පැන්නේය. තම අඹුදරුවන් කොලඹ ආරක්ෂිත නිවස්නයක රැඳවූ සරත් අයියා එවකට හමුදා බුද්ධි අංශය බාරව සිටි බ්‍රිගේඩියර් බලගල්ල සමඟ යම් එකඟතාවයකට එන්නේ ඒ නැතිවූ හුජ්ජා කිරීමේ නිදහස පමනක්ම වෙනුවෙන් නොවේ. ජවිපෙ තර්ජනයට ලක්වූ බොහෝ සාම්ප්‍රදායික වමේ ක්‍රියාකාරීන්ද, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි ජවිපෙ විරෝධි සංවිධානද හමුදා අණුකන්ඩ සමග එකඟතාවයකට එන්නේ හුජ්ජා කිරීමේ නිදහස, ජීවත්වීමේ නිදහස සහ තමන් කැමැති දේශපාලන මතවාදයක් වෙනුවෙන් වැඩ කිරීමේ නිදහස වැනි භෞතික කාරණා වෙනුවෙනි.

පාරක තොටක ගමන් කිරීම නිදහසේ විඳින්නට ගොස් බෝම්බ වලින් අත් පා පමනක් නොව තම ජීවිත අඹුදරුවන් නැති කරගත් පිරිස අප්‍රමාණය.තමන්ට රිසි ආගමික ස්තානයක ආගමික වතාවත් කර වෙඩි කෑ ගනනද සුලුපටු නොවේ. දේශපාලන රැලි වල පුපුරවා හරින ලද බෝම්බ නිසා විපතට පත්වූ අයද වෙති.
පාසැල් යන්නට බස් රතයක, නැගගත් කොල්ලා ගෙදර ආවේ සීල් තැබු පෙට්ටියකය. මේ අත්දැකීම් සිංහල ජන මනස තුල සදාකාලික භීතියක් ඇතිකරමින් සාමාන්‍යකරණය වෙමින් තිබුනේය. ප්‍රචන්ඩත්වය සහ හිංසනය බල ප්‍රකාශනයේ සුවිශේෂි තැනක් අත්පත් කරගනිමින් තිබුනි.

සිංහල සමාජය අද සමරමින් සිටිනේ මේ ඇඟට දැනෙන භෞතිකයයි. එදා
සරත් අයියලා විසින් රහස්‍ය හමුදා නිවස්න ඇතුලේ විජේවීරගේ මරණය සමඟ සැමරුවේද මේ මහපොලොවේ වැඩකරන සරල භෞතිකයයි. ජයග්‍රහනයේ උත්කර්ශයෙන් පසුවන සිංහල සමාජයට fashonable nonsense දෙසා බාමින් සිටින්නන් භෞතිකය හඳුනග යුතු කාලය එලඹ තිබේ. එය ඔලුගෙඩිය ඇතුලේ යෝනිය වෙනුවට භෞතික යෝනිය හමුවීම වැනිම කම්පනයක් ගෙනදෙන්නක් වනු ඇති නො අනුමානයි.

5 comments:

  1. ප්‍රායෝගික එකඟතා ලක්ෂයක් මත සියළු අන්තවාද පරාජය කිරීම...

    මකයෝ,

    තියරියට නම් මෙය තරම් හොඳ විසඳුමක් තවත් නෑ. නමුත් දශක පහකට ආසන්න කාලයක් අපට ඔය 'ප්‍රායෝගික එකඟතා ලක්ෂය' ගැන එකඟතාවකට එන්න බැරිවුනානෙ. 1960දී දෙමළ අන්තවාදය නියෝජනය කළ චෙල්වනායගම් කොන්දේසි විරහිතව සිංහල අන්තවාදය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දෙන්න කැමතිවූ ඓතිහාසික අවස්ථාව පවා මඟ හැරුණානෙ, 'පද්දෙකුට' අගමැති පදවිය දෙන්න අපේ ගොවිගම ඇත්තන් නොකැමති වූ නිසා.

    ඉතින් ඉදිරියටත් මේ ප්‍රායෝගික එකඟතා ලක්ෂය හදා ගන්න අපට හැකිවෙතැයි මගේ සුබවාදී බලපොරොත්තුවක් නෑ. සිදුවිය හැකි එකම දේ අන්ත දෙකක් අතර බල තුලනයක් පමණයි.

    ReplyDelete
  2. හොද ලිපියක්. අද පවතින තත්වය මනාවට විග්‍රහ කරනවා.

    ReplyDelete
  3. හොඳ විග්‍රහයක්.

    ReplyDelete
  4. @ඔලුගෙඩිය ඇතුලේ යෝනිය වෙනුවට භෞතික යෝනිය

    ඔබගේ විග්‍රහය කොතෙක් හොද වුවත් ඔබ යෝජනා කරන භෞතික යෝනිය කුමක්ද එය යෙදවිය යුත්තතේ කුමක් සදහාද යන්න ගැටලු සහිතයි.
    සමාජ තත්වයන් යම්තාක් නිවරදිය.
    කැලි කැලී ගත්කල කොතනත් හරි වැරදි ඇත. වැඩපිලිවෙලක් හැටියට ගත්කල නිවැරදි තැන් ඇත්තේ අල්පයකි.

    ReplyDelete
  5. ~ඵළ , ඉන්දෙර්ෙග් ලිපිය පෙන්වා දුන්නාට ස්තුතියි. නිදහෙස් හුජ්ජ කිරීම මොන තරම් ආශ්වාදජනකද.

    ReplyDelete