Friday, July 15, 2011

ඇසළ පෝය (Significance of Esala Poya Day)


     න්න ඉතිං ඇසළ පෝයත් පහු උනානෙ. අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ ලෝකයා කෙරේ මහා කරුණාව ඇති කරගෙන ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කරේ හරියටම මීට අවුරුදු 2600කට ඉස්සර ඊයෙ වගේ දවසක. ඒ ඉසිපතනේ මිගදාය නම් වනයේ. ඉතින් ඊයෙ වගේ දිනක නිසාත්, ඒ මේ මගේ සිතුවිල්ලට පාදක වෙච්ච බුදු රදුන් බුදු දහම ලොවට කියා දීමේ ආරම්භය නිසාත් ඇසළ පෝය ගැන මගේ පළවෙනි ලිපියෙන් කියන්න ඔනේ කියලා මට හිතුනා. ඉස්සර වගේම මට අදත් මේ අළුත් blog එකේ ලිපි ලියන්න විස්තර හොයලා දීපු උත්පලා උපාසිකාවට මුලින්ම පින් අනුමෝදන් කරන්නම්.

     ඇසළ පෝය ගැන මොනම කරුණක්වත් දන්නෙ නැති කෙනෙක් වුනත් හොඳට දන්න දෙයක් තමයි දළදා මාළිගාවෙ දළදා පෙරහැර පැවැත්වෙන්නෙ මේ ඇසළ මාසෙ කියන එක. ඒකට ඉතිං ඒරොප්පෙනුත් ඈයො එනවනෙ. එහෙම බලද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇසළ පෝය තියන කාලෙට බෞද්ධ අයට සැණකෙළි කියලා. ඒකෙ ඉතිං වරදක් නෑ. මේ වගේම බුදු හාමුදුරුවො හිටපු කාලෙත් සැණකෙළි තිබිලා තියනවා. හැබැයි ඒ බෞද්ධ අයට නම් නෙමේ. හින්දු අයටයි, ජෛන අයටයි වෙන් වෙච්ච "ගිරග්ග සමජ්ජ" කියලා සැණකෙළියක් ගැන බෞද්ධ සාහිත්‍යයෙත් කියවෙනවා. මීට අමතරව තවත් විශේෂ කරුණු රාශියක් නිසා ඇසළ පෝය බෞද්ධ අපිට ඉතාමත් වැදගත්.

     මේ අතරින් වැදගත්ම කාරණයක් තමයි බෝසත් සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම. මේ ගැන හුඟ දෙනෙක් අහලත් ඇති. පුංචි කාලේ ඉස්කෝලේ පාඩම් පොතේ තිබ්බ රසවත්ම කතාවක් තමයි මේක. මට මතකයි මේක මමත් හරිම ආසාවෙන් කියෙව්වා. කතාවේ හැටීයට දැනට අපි භාවිතා කරන අවුරුදු ක්‍රමයට අනුව ක්‍රිස්තු පූර්ව 623 දී, ඒ කියන්නෙ බෝධිසත්ව සිදුහත් කුමරුගේ උපතට හරියටම මාස 10කට කලින් දවසක තමයි මේ අපූරු සිද්ධිය වෙලා තියෙන්නෙ. හරිම ධාර්මිකව කල් ගෙවපු මහාමායා දේවිය එදත් ආගමික චාරිත්‍ර වල නිරත වෙලා රාත්‍රී නින්දට සයනගත වුනා. ඒත්, එදා නින්දෙදි දේවිය හරිම අපූරු හීනයක් දැක්කා. ඒ තමයි, සුදු නෙළුමක් හොඬින් ගත්ත සුදු ඇත් පැටවෙක් සයනය වටේට තුන්පාරක් පැදකුනු කරලා දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුළු වෙනවා. පහුවෙනිදා සුද්ධෝදන රජතුමා මේ ගැන සභාවේ පඬි වරුන්ගෙන් අහලා බැලුවා. ඒගොල්ලෝ කිව්වා ඉතාම භාග්‍යවන්ත පුත් කුමරුවෙක් දේවියගේ කුස පිළිසිඳ ගෙන තියනවා කියලා.

     ඊළඟට බෝසත් සිද්ධාර්ථ කුමාරයාගේ මහා අභිනිෂ්ක්‍රමණය, ඒ කියන්නෙ ගිහි ගෙය හැරයාම සිදු වුනෙත් ඇසළ පෝය දවසක තමයි. කුමාරයාට වයස 29 දී ඇසළ පෝය දවසක ඡන්න ඇමතිත් එක්ක, කණ්ථක අශ්වයාගේ පිටේ ගිහි ගෙය හැර යන දවසෙම රාහුල පුත් කුමරු මෙලොව එළිය දකිනවා.


     සම්මා සම්බුද්ධත්වයට පත් වුනාට පස්සෙ බුදු රජාණන් වහන්සේ සත් සතියත් ගත කරලා මේ ධර්මය දේශනා කරන්න සුදුසු කෙනෙක් ඉන්නවාද කියලා කල්පනා කරා. එතකොට උන්වහන්සේට කල්පනා වුනා උන්වහන්සේ ධර්මය සොයා සැරි සරද්දී උන්වහන්සේට ආචාර්ය වරුන් වෙච්ච "ආලාර කාලාම" හා "උද්දක රාමපුත්ත" දෙන්නා. ඒත් අවාසනාවට ඒ දෙන්නම මියගිහින් කියලා බුදු රදුන්ට දැනගන්න ලබෙනවා. ඊට පස්සෙ කල්පනා කරද්දී උන්වහන්සේට මතක් වෙනවා පස්වග තවුසන් "කොණ්ඩඤ්ඤ", "වප්ප", "බද්දිය", "මහනාම", "අස්සජි". උන්වහන්සේත් එක්ක එකට බෝධිසත්ව කාලේදි ධර්මය හොයමින් හිටපු මේ මහනුන් ගැන හොයලා බලද්දි උන්වහන්සේ දකිනවා මේ අය ඉසිපතනය කියන ප්‍රදේශයේ, මිගදාය කියන වනයේ තමයි ඉන්නෙ කියලා. උන්වහන්සේ ඉසිපතනයේ මිගදායට වැඩම කරලා පළවෙනි ධර්ම දේශනය කරනවා එතනදි. ඒ තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය.



     බුද්ධත්වයෙන් හත්වෙනි අවුරුද්දේ වස්සාන කලේදි ඇසළ පෝය දවසක ආයෙත් අපූරු දෙයක් සිද්ධ වෙනවා. ඒ තමා බුදුරජාණන් වහන්සේ තවුතිසා දිව්‍ය ලෝකයේදී කරපු අභිධර්ම දේශනාව. බෝධිසත්ව උපතට දවස් හතකට පස්සෙ මහාමායා දේවිය කළුරිය කළා. ඒ අන්තිම ආත්මය ඉපදුන බෝධිසත්ව කුමාරයාට උපත දීපු බෝධිසත්ව මාතාවට අයෙත් කුස පිළිසිඳ ගැනීමෙන් වැලකෙන්නයි. මරණින් පස්සෙ දේවිය, දේව ආත්මයක් ලැබිලා ඉපදුනේ තවුතිසා දිව්‍ය ලෝකෙ. ඉතිං මේ වැසි සමයේදී තවුතිසා දිව්‍ය ලෝකයේ දේව වැසියන් හැමෝටම, තමන් වහන්සේගේම මවු දෙවතාවියගේ ආරාධනාවෙන් ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කළා.

     මීට අමතරව ලාංකිකයන් හැටියට අපිට හරිම වැදගත්, අපේ රටේ පළමු උපසම්පදාව වුනෙත් ඇසළ පෝය දවසක. ඒ මහින්දාගමනයෙන් පස්සෙ මිහිඳු රහතන් වහන්සේ යටතේ, දේවානම්පියතිස්ස රජුගේ බෑණන්ඩිය අරිට්ඨ කුමාරයා අනුරාධපුරයේදී උපසම්පදා වීමෙනුයි.

     මේ වගේ බෞද්ධ අපිට වැදගත් සිද්ධි ගොඩාක් වෙච්ච දවසක් තමයි ඇසළ පෝය දවස. මේ ලිපිය කියවලා බලලා දන්නෙ නැති කරුණු එකතු කරගන්නත්, දන්න කරුණු ප්‍රත්‍යක්ෂ කර ගන්නත් සියළු දෙනාට ලැබේවා ! ලිපියේ දෝෂ තියනවානම් ඒ ගැනත් කියන්න. ලිපිය සම්බන්ධ අළුත් තොරතුරු තියනවානම් ඒවාත් කියන්න.


සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !


4 යි දැනට ප්‍රතිචාර:

Garfield said...

this is soo great..people wil soon be intersted in reading buddhism in such a nice way thanks to chamz :)

Anonymous said...

දිගටම ලියන්න.. සැබෑ වෙනසක් සහිත බ්ලොග් අඩවියක්! ඔබට ජය

Chamath N. Kirinde said...

බොහොම ස්තූතියි උත්පලා ප්‍රතිචාරයටත්, මට හොයලා දීපු විස්තර වලටත්..

විසිතුරු, බොහොම ස්තූතියි දිරිගැන්වීමට, මේ ලිපි එක්ක හැමදාම එකතු වෙලා ඉන්න.

Sas said...

ලිපිය අගනේය.....


නමුත් මම බැලුවෙ අද.....

Post a Comment

බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...