Monday, July 18, 2011

සිත යනු … (What is Mind - I)


     සිත කියලා කිව්වහම හැමෝම දන්නවා මොකද්ද කියලා ඒත් විස්තර කරන්න හරි අමාරුයි නේද ? සිත ශරීරයේ අංගයක්ද ? ඒක පේන්න තියනවද ? අද අපි පොඩ්ඩක් බලමු මේ මිනිස් සිත කොහොමද බුදු දහමේ විස්තර කරලා තියෙන්නෙ කියලා. එහෙම කියද්දි කියවන එක නවත්තලා යන්න නේද හදන්නෙ ? නෑ බය වෙන්න එපා මේ සිත කියන එක ඉගෙන ගන්න හරිම ආස හිතෙන මාතෘකාවක්. ඉතිං මම මේ ලිපිය ලියන්නෙ පුළුවං තරම් සරළ කරලා. පොඩ්ඩක් කියවලාම බලන්නකෝ.

     සමහරුනම් කියන්නෙ සිත සදාකාලිකයි, ඒක ආත්මයෙන් ආත්මයට මිනිසා එක්කම තිබිලා අන්තිමේදී සදාකාලික සැපතකට පත් වෙනවා කියලා. නමුත් බුදු දහමේ ඉගැන්වීමනම් සම්පූර්ණයෙන් වෙනස්. සිත මරණයෙන් පස්සෙ තවත් තැනකට යනවා කියලා බුදු දහමේ කියවෙන්නේ නෑ. ඒත් අපි කරන කුසල, අකුසල කර්ම ඒ කිව්වෙ හොඳ, නරක වල බලපෑම අනුව තමා ඊළඟ ඉපදීම තීරණය වෙන්නේ. බුදු දහමේ එන අනිත්‍ය ලක්ෂණය මේ මිනිස් සිතටත් වලංගුයි. ඒ කිව්වේ සිතේ ස්වභාවයත් නිතරම වෙනස් වෙනවා. නරක සිතක් හොඳ කරන්නත්, හොඳ සිතක් නරක් කරන්නත් ඒ හැටි වෙලාවක් යන්නේ නෑ. දුකින් ඉන්න කෙනෙකුගේ හිත සැප සහිත ප්‍රීතිමත් සිතක් කරන්නත් පුළුවන්. මේ සියළුම වෙනස් වීම් සිද්ධ වෙන්නේ චෛතසික නැත්තම් සිතේ ස්වභාවය වෙනස් කරන ගති නිසයි. ඉතාමත් හොඳින් පින් කරමින් ජීවිතය ගෙවපු කෙනෙක් සතෙක් වෙලා ඉපදෙන්නත්, හැමදාම සතුන් මරපු කෙනෙක් දිව්‍ය ලෝකේ ඉපදෙන්නෙත් මේ ක්ෂණිකව වෙනස් වෙන සිත හින්දා තමයි.

     සත්වයෙකුගේ උපත ලබද්දී සිත හරියට පැළ කරන්න යන බීජයක් වගේ. බීජයක් පැළ කරන්න යද්දී මොනවද ඒකෙ තියෙන්නෙ. පිටින් බලපුහම පිටි වගේ පේනවා එච්චරයි. ඒත් පැළ උනාට පස්සෙ කොළ, මල්, ගෙඩි එනවා. ඉතිං ඉපදෙද්දි තියන සිතත් ඒ වගේ. පිටින් පේන්න තරම් දෙයක් නෑ. ඒත් ඉපදිලා, සිත ක්‍රියා කරන්න ගත්තහම සිතට එකතු වෙන චෛතසික හින්දා දුක හෝ සැප ලැබෙන ශක්තීන් ඇතිවෙනවා. මේවාට තමයි අපි කර්මය කියන්නේ. මෙන්න මේ වගේ එක් මොහොතක ඇතිවෙලා චෛතසික හින්දා ඇති වෙච්ච ශක්තීන් ඒ සිත නැති වෙලා යද්දි, අළුතින් ඇති වෙන සිතේ ගබඩා කරනවා. මේකත් හරියට අප්පච්චිගේ දේපොල පුතා ට අයිති වෙනවා වගේ උරුම වෙන දෙයක්. දැන් අපිට තියන සිතේ ඉස්සර ඇති වෙච්ච සිත් වල තිබිලා ඉතුරු වෙච්ච ශක්තීන් ඒ කිව්වෙ කර්ම තියනවා. දැන් සිතේ තියන ශක්තීන්ගෙන් ඉතුරු වෙන ටික අනාගතයට යනවා. මේ විදිහට හොඳ නරක ශක්තීන් ගබඩා වෙච්ච සිතේ ඊළඟ පරම්පරාව, ඒ කිව්වේ අළුතින් ඇතිවෙන සිත වෙනත් තැනක ඉපදෙන එකට තමා ප්‍රතිසන්ධිය කියන්නෙ.

     හොඳයි එතකොට මේ අළුතින් වෙනත් තැනක සිතක් ඉපදෙද්දි මොකද වෙන්නෙ. එතකොට කලින් තිබ්බ සිත නැති වෙලා ඒකෙ තිබ්බ ශක්තිය අළුතින් ඇතිවෙන සිතට යනවා. දැන් කියවන අය කල්පනා කරනවා ඇති අන්න ඒක කොහොමද වෙන්නෙ ? මේ ලෝකෙ ශක්තියක් තවත් තැනකට ගමන් කරන්නේ කොහොමද ? එක පාරට මතක් වෙන්නේ නැද්ද ? ආලෝකය, ශබ්දය, තාපය.... අන්න එතකොට මතක් වෙනවා. ශක්තියන් ගමන් කරන්නේ තරංග වල උදව්වෙන්නේ. ඉතිං මේ සිතේ තිබ්බ ශක්තියත් ගමන් කරන්නේ තරංග වලින්ම තමයි.

     හ්ම්ම්... අදට සිත ගැන කිව්වා ඇති. මේ කියපු කරුණු ටික පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. සිත ගැන තවත් තොරතුරු අරං මම ආයෙත් එන්නං.

සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !


4 යි දැනට ප්‍රතිචාර:

Garfield said...

ගැඹුරු අරුතක් තියන ලිපියක්.මේ ගැන ඉස්සරහට දාන ලිපිත් කියවන්න අසවෙන් ඉන්නෙ. :)ගොඩක් ස්තුතියි චමත්. :)

චතුමිතු said...

ක්ෂණිකව වෙනස් වෙන සිත හින්දා අපි මොන තැන ඉපදුනත්,අපි කරපු අකුසල් විදවන්න වෙනව නේ..එකට උදාහරණයක් තමයි.. මම මේ කියන්නේ.
කෙටියෙන්ම කියනවා නම් ඔන්න එක මනුස්සයෙක් මනුස්ස ලොකේ ඉදලා ගොඩක් පව් කරලා තියනවා.හැබැයි මේයාට මහණ වෙන්නත් ආසාවක් තිබුනත් ඒ අදහස් පසු කාලිනව යට ගිහින්..ඔන්න කොහොමෙන් කොහොම හරි මෙයා මරණින් මත්තේ අපායට ගිහින් තියෙනවා.ඔන්න අපායට ගියහම යම රජජුරුවෝ අහන ප්‍රශ්න වගයක් තියෙනවා නේ..(දන්නේ නැති අය දේව දුත සුත්‍රය කියවන්නකෝ) මේ එකකටවත් මෙයාට හරියට උත්තර දිගන්න බැරි වේලා ඔන්න... හැබැයි මෙයා අන්තිමට කෑ ගහලා කියලා මම මහණ වෙන්න හිටියේ කියලා..එත් ඉතින් එක උත්තරයක් නෙවයි නේ.. මහණ වෙන්න හිටියට මහණ උනේ නැ නේ..එත් පුදුම වැඩේ කියන්නේ යම රජ්ජුරුවෝ මෙයාට් සමාව දිලා..ඇයි ඒ??? මෙයා අනිත්‍ය භාවනාවේ යෙදිලා ඉදලා තියෙනවා..ඊට පස්සේ තව යම පුරුෂයෝ දෙන්නෙක් එක්ක මෙයා යම ලොකෙන් පිට කරන ගමනෙ එකෙක් කියලා තියනවා "උඹ දැන් පිටවුනාට උබේ ජීවිත කාළයෙන් භාගයක්ම උඹට දුක් විදින්න වේවි" කියලා.
පස්සේ එයා ආයෙත් මනුස්ස ලොකේ දුගී පැලක ඉපදිලා.එත් තාත්තත් එක්ක ඉන්න බැරි කමට මෙයා පොඩි කාලේම ගෙදරින් පැනලා ඇවිල්ලා අහු වේලා තියෙන්නේ පාන් බේකරියක වැඩට ලු..හිතන්න ඔච්චර ගිනි ගහන තැනක පොඩි එකෙක් ඉන්නේ කොහොමද??? බේකරි මුදලාලිත් මේකව එලියට යවන්නෙවත් නැතුව හිර කරගෙනම වැඩ අරගෙන.ඇයි මේයා එ වෙනකම් ලොකේ ගැන කිසි දෙයක් දැන ගෙන ඉදලා නැ නේ.කොච්චර කල් හිටියා කියලද හිතන්නේ... 40ක් අවුරුදු 40.. ජිවිත කාලෙන් 1/2ක්.කිසිම පඩියක් නැතුව.කොහොමෙන් කොහොම හරි මෙයා බේකරියේ වැඩ කරන්න එන අයගෙන් තොතරතුරු දැන තියාගෙන.. දවසක් මුදලාලිට ගිගින් කියනවා."මම හැම දේම දැනගත්තා මම මෙතන අවුරුදු 40ක් වැඩ කළා.මට මගේ පඩිය දෙන්න" කියලා.මුදලාලි වැඩේට කැමති වේලා නෑ.ඉතින් මෙයා දවසක් මග ‍රැකලා ඉදලා ඔන්න ඔකේ පළිය ගන්න..මුදලාලිව මරන්න.ඔන්න දැන් මුදලාලිත් එනවා ලු.අර මනුස්සයා..මුදලාලිට අනිනන්න පිහියක් උස්සන කොටම මේයාට කොහොම හරි අපායේ විලාප සද්දේ ඇහිලා..ඉතින් මේ මනුස්සයා පිහිය ඇතැරලා එතනින් පැනලා ඇවිලා දැනටත් මහණ ධම් පුරණ ස්වාමින් වහන්සේ නමක් ලු.
ධර්ම දානය උතුම් දානයකි
නමෝ බුද්ධාය

Jචමත්™ said...

බොහොම ස්තූතියි කතාවට..
ඒක තමා සිතේ ස්වභාවය ගැන විස්තර කරද්දී ඒකට ගන්න ඕන තරම් උදාහරණ අපි වටපිටාවෙම තියනවා. හැමෝම තේරුම් ගන්න ඕනෙ සිත මහ අද්භූත දෙයක් නෙමේ කියලා. දිගටම නිර්මල දහමත් එක්ක රැඳිලා ඉන්න. නැවතත් ස්තූතියි ලිපියට යමක් එකතු කළාට.

නමෝ බුද්ධාය !

Jචමත්™ said...

බොහොම ස්තූතියි උත්පලා වෙනදා වගේම පළවෙනි comment එකටත් දිරිගැන්වීමටත්

Post a Comment

බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...