Tuesday, July 19, 2011

බුද්ධගයාව බේරාගත් උත්තමයා (Anagarika Dharmapala)


     "සිංහලයිනි නැගිටියව් බුද්ධගයාව බේරගනිව්" මේ කියමන ඇහෙද්දිම සිංහල බෞද්ධ අපිට අමුතු හැඟීමක් එනවා, අමුතු ධෛර්යයක් එනවා. මේක කිව්වේ කවුද කියලා ඇහුවොත් හුඟ දෙනෙක් දන්නවා නේද ? ඒ අයගේ දැනුම වැඩි දියුණු කර ගන්නයි, දන්නැති අයට දැනගන්නයි අද මම කියන්නම්කෝ ඒ උත්තම චරිතය ගැන.

     එකදාස් අටසිය හැට හතරේ බිනර මාසේ 17 වෙනිදා මාතර හිත්තටිය කියන ගම්මානේ උදේ වෙනදා වගෙම හොඳට ඉර පායලා තිබුනා. කිසිම වෙනසක් තිබ්බෙ නෑ. එදා දොන් කරෝලිස් හේවාවිතාරණ අප්පුහාමි මහත්තයටයි, මල්ලිකා හේවාවිතාරණ නෝණාටයි දාව ලස්සන පුතෙක් ඉපදුනා. ඒ පුතාගේ නම තමයි දොන් දාවිත් හේවාවිතාරණ. පොඩි කාලේදි පියා කොළඹ ව්‍යාපාර කරපු හින්දා අපේ දාවිත් පුතාටත් කොළඹ තමා ඉගෙන ගන්න උනේ. ඒ කාලෙ ලංකාව බ්‍රිතාන්‍යයේ කොලනියක් විදිහටනේ තිබ්බෙ. ඉතිං මේ දාවිත්ටත් ඉගෙන ගන්න යන්න උනේ කෝට්ටේ ක්‍රිස්තියානි පිරිමි විද්‍යාලයට, ඉංගිරීසි මාධ්‍යයෙන් තමා ඉගැන්නුවෙත්. ඊට පස්සෙ ගියෙ කොටහේනෙ සාන්ත බෙනඩික්ට් විද්‍යාලෙට. ඉස්කෝලේ ඇරිලා ආවහම අපි වගේ කම්මැලි කමට ඉන්නෙ නැතුව, මේ දාවිත් හැමදාම හවසට විද්‍යෝදය පිරිවෙණට ගිහින් සිංහලයි, බුද්ධ ධර්මයයි ඉගෙන ගත්තෙ බොහොම උනන්දුවෙන්. එතකොට මේ දාවිත්ට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්වත් ඇසුරු කරන්න ලැබුනා. ගුණානන්ද හාමුදුරුවන්ගේ බොදු අදහස් අපේ දාවිත්ගේ හිතට බොහොම තදින් කා වැදුනා. මේ කාලෙදී කොටහේනෙ බෞද්ධයන්  හා කතෝලිකයන් අතර ලොකු ගැටුමක් ඇති වුනා. හිටියෙත් ඉතිං ඉංග්‍රීසි ආණ්ඩුව නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ ඒ අය කතෝලිකයන්ගේ පැත්ත අරං බෞද්ධයන්ට කෙණහිලිකං කරා. මේකෙන් කළකිරිච්ච දාවිත්ගේ පියා දාවිත්ව සාන්ත බෙනඩික්ට් විද්‍යාලෙන් අස් කරගෙන ගිහිං රාජකීය විද්‍යාලෙට දැම්මා. දාවිත් ඒ ටිකේ හොඳට පොත පත කියවලා දැනුම දියුනු කරගත්තා.

     මේ කාලෙ බෞද්ධ පුනර්වනයක්, ඒ කිව්වේ නැවත පණ ගැන්වීමක් ඇති වෙච්ච කාලයක්. ඒකෙ ප්‍රථිඵලයක් විදිහට 1875 දී බ්ලැවැට්ස්කි මැතිණියයි, හෙන්රි ස්ටීල් ඕල්කට් තුමායි එකතු වෙලා ඇමරිකාවේ නිව්යෝක් නගරයේදි පරමවිඥානාර්ථ සමාගම හැදුවා. ඒගොල්ලො බුදු දහම ගැන හොයලා ඒක ඉගෙන ගන්න බොහොම උනන්දු උනා. ඒ විතරක් නෙමේ ඉගෙන ගත්ත දේවල් වලින් බොහෝම පැහැදුනා. කොච්චර පැහැදුනාද කියනවානම් 1880දී ලංකාවට ඇවිත් බුදු දහම වැළඳ ගත්තා. ඒ වෙද්දි ලංකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන් සීලයේ පිහිටලා තෙරුවණ් සරණ ගියා.  

     දාවිත්ට රජයේ ලිපිකාර තනතුරක් හම්බුනා. ඒත් ඒක වැඩි කාලයක් කරේ නෑ. පොඩි කාලේ ගුණානන්ද හාමුදුරුවෝ උගන්වපු ඒවා තමයි නිතරම මතක් උනේ. ඒක හින්දා ඔක්කොම පැත්තකින් දාලා දාවිත් ආගමික, සමාජයීය වැඩ කරන්න පටන් ගත්තා. ඒ අතර තුරේ තමයි පරමවිඥානාර්ථ සමාගම එක්කත් සම්බන්ධ උනේ. කොහොමහරි මේ කාලෙ ඕල්කට් තුමාත් නිතරම ලංකාවට ආවා ගියා සමාගමේ වැඩ හින්දා. දාවිත්ටත් ඕල්කට් තුමා ඇසුරු කරන්න හම්බුනා. අපේ දාවිත්ට මේ වෙද්දි නම එපා වෙලයි තිබුනෙ. ඒ දාවිත් කියන නම අබෞද්ධ නමක් නිසා. ඒක හින්දා "ධර්මපාල" කියලා නම වෙනස් කරා. ඒ ධර්මය ආරක්ෂා කරන්නා කියන තේරුම ඇති හින්දා. සමාගමේ "සරසවි සඳරැස" කියන පත්තරේ වැඩකටයුතු භාර උනේ මේ ධර්මපාල තරුණයාට. ධර්මපාල මේ වැඩේ කිසිම අඩුපාඩුවක් නැතුව කරා.

     මේ අතරේ ධර්මපාලට ඕල්කට් තුමායි, බ්ලැවැට්ස්කි මැතිණියයි එක්ක දඹදිව චාරිකාවකට අවස්ථාව හම්බුනා. ඒකෙදි ඒ බෞද්ධ සිද්ධස්ථාන වල පරිහානිය දැකලා හොඳටම කම්පා උනා, ධර්මපාල තරුණයා. ඒ වෙනකොට තනිකරම හින්දු ආධිපත්‍යයට යටත් වෙලා තිබ්බ බුද්ධගයාව, අප මහා බුදු රජාණන් වහන්සේ, ලොව්තුරා අමා මහ බුද්ධත්වයට පත්වෙච්ච භූමිය කොහොමහරි බේරගන්නවා කියල අධිෂ්ඨාන කරගෙන ආපහු ලංකාවට ඇවිත් ධර්මපාල තනිවම සටන පටන් ගත්තා. අන්න එහෙම සටන ආරම්භ කරපු ධර්මපාල තුමාගේ හඬ ලංකාවේ ගම් නියම්ගම් වල පැතිරිලා ගියා. ගමින් ගමට, නගරයෙන් නගරයට ගිහින් ඒ වෙනකන් නිදාගෙන හිටපු බෞද්ධයන් අවදි කරන්න පටන් ගත්තා. මේ සටනේදී ධර්මපාල තුමාට ගොඩාක් කටුක වචන භාවිතා කරන්න උනා. විදේශීය හැමදේම කිසිම විචාරයක් නැතුව පිළිගත්ත ජනතාවක් තමා ඒ වෙනකොට ලංකාවෙ හිටියේ. හ්ම්ම්ම්... මම හිතන එකමද ඔයලත් හිතන්නේ? දැන් කියලා මහ වෙනසක් නෑනේ. ඉතින් මේ හඬත් එක්ක බෞද්ධ ජනතාවත් අවදි උනා. ආයෙත් පන්සල් එළි උනා, දහම් පාසල් පටන් ගත්තා. හාමුදුරුවරු ඒ වෙනුවෙන් මහන්සි උනා.

     1891 අවුද්දෙදී මෙතුමා "අනගාරික" උනා. ඒ කිව්වේ ගෘහස්ථ ජීවිතයෙන් අයින් උනා. ධර්මපාලතුමා අපේ රටේ විතරක් නෙමේ, ධර්මය මුළු ලෝකයටම ගෙනියන්න වැඩ කරා. මේකෙ ප්‍රථිඵලයක් විදිහට මහාබෝධි සමාගම පිහිටෙව්වා. ඒකෙන් විදෙස් රටවල් වල ඉංගිරීසි භාෂාවෙන් බණ කියන්න හාමුදුරුවරු පුහුණු කරා. මේ අතරෙදි මෙතුමා ඇමරිකාවේ Chicago නගරයෙදි බුදු දහම ගැන කරපු දේශනාව මහත් ආන්දෝලනයට ලක් උනා. බටහිර රටවල් ගොඩක බුදු දහම ගැන ඇස් ඇරුනා. බුද්ධගයාව හින්දු ආගමිකයන්ට නෙමේ බෞද්ධාගමිකයන්ට අයිති තැනක් කියලා ඒ තැන ඒ වෙද්දි බලහත්කාරයෙන් අල්ලාගෙන හිටපු "මහන්තා" කියන පූජක වරයාට විරුද්ධව දාපු නඩුවෙන් එතුමා දිනුවා, බෞද්ධාගමික අය හැමෝම දිනුවා. ඊට පස්සේ 1986 අවුරුද්දෙදී බුද්ධගයාවේ වෙසක් උත්සවය පැවැත්තුවා.

     අනගාරික ධර්මපාල තුමා ආගමික විදිහට අපේ රට නගාසිටුවන්න විතරක් නෙමේ උත්සාහ කරේ. එතුමා ලක්දිව ආර්ථිකව නිදහස් රටක් කරන්නත් බොහොම මහන්සි උනා. ඒකට දැඩි උනන්දුවක් ඇති උනේ එතුමාගේ ජපන් සංචාරයෙන් පස්සෙයි. ඒ ජපන් රටේ මිනිස්සු ඒ රට දියුනු කරන්න ගන්න අසීමිත උත්සාහය දැකලයි. එතුමා රාජගිරියේ හේවාවිතාරන පේෂකර්ම විද්‍යාලය පිහිටුවලා ශිෂ්‍යයින් පුහුණු කරා. ඊට පස්සෙ ලංකාව පුරාම පේෂකර්ම විද්‍යාල පිහිටුවන්නත් එතුමා පුරෝගාමී උනා. ඊට අමතරව ඕල්කට් තුමා එක්ක මෙරටේ බෞද්ධ පාසල් ඇති කරන්නත්  වෙහෙස මහන්සියක් ගත්තා. ඒ ගැන විශේෂයෙන්ම ගරු කරනවා මම, මොකද මම ඉගෙන ගත්ත මලියදේව විද්‍යාලෙත් ඒ විදිහට පටන් ගත්ත බෞද්ධ ඉස්කෝල වලින් එකක්.

     1931දී සිරි දේවමිත්ත කියන නමින් පැවිදි වෙච්ච අනගාරික ධර්මපාල තුමා අවුරුදු දෙකකින් උපසම්පදා ලැබුවා. උන්වහන්සේ අන්තිමේදී ඉතා වටිනා ප්‍රාර්ථනාවක් කරලා එකදාස් නමසිය තිස් තුනේ බක් මාසෙ විසි නව වෙනිදා අපවත් උනා.

උන්වහන්සේගෙ අන්තිම ප්‍රාර්ථනය උනේ "බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයට මට තව විසිපස් වතාවක් දඹදිව ඉපදෙන්න ලැබේවා !"

     හරිම ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනයක් නේද ? මේ ලිපිය කියවපු ඔයාලත්, අපි හැමෝමත් ප්‍රාර්ථනයක් කරමු."උන්වහන්සේගේ ඒ මහා ප්‍රාර්ථනය ඉෂ්ඨ සිද්ධ වේවා !" කියලා.

     හොඳයි එහෙනම් අද දැනගත්තානෙ අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර ගොඩාක්. ලිපිය ඉවර කරන්න කලින් මම තව එකක් කියන්නම්. මේ ලිපිය කියවන කෙනෙකුට සමහරවිට හිතෙන්න පුළුවන් මම අනික් ආගම් වලට අපහාස කරලාදෝ කියලා. අනේ නෑ මම මේ ලිපිය ලිව්වේ කිසිම ආගමකට අපහාස කරන සිතකින් නම් නෙමේ. මේ ලිපිය තනිකරම, හොයාගත්ත විස්තර වලින් මගෙ හිතේ ඇඳිච්ච ඉතිහාස කතාවක් විතරමයි. ඒ නිසා වපර ඇහෙන් මේ ලිපිය දිහා කවුරුත් බලන්න එපා.

     හරි ඔන්න නිර්මල දහමේ තවත් ලිපියක් ඉවරයි. මේ ලිපියත් කියවලා ප්‍රතිචාරයක් දාන්නකෝ. කියවන ඔයාලගේ ප්‍රතිචාර තමයි මට තව තවත් ලිපි ලියන්න ශක්තියක් වෙන්නේ. තවත් ලිපියකින් හම්බෙමු අපි.

සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !



2 යි දැනට ප්‍රතිචාර:

Jචමත්™ said...

බොහොම ස්තූතියි උත්පලා... හැම ලිපියම කියවන එකට බොහොම ස්තූතියි !

උත්පලා Janadaree said...

මේ කාලේ හොයාගන්න වත් නැති මේ වගේ චරිත ගැන කියවලා හරි ඉගෙනගන්න හමොටම හොඩ අවස්ථාවක්.:) ස්තුතියි චමත්..

Post a Comment

බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...