Friday, June 24, 2011

Once Bitten, Twice Shy - බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්නද?


වෙනත් ඕනැම භාෂාවක වගේ ඉංග්‍රීසියෙත් තියනවා ප්‍රස්ථා පිරුළු (proverbs).. මේවා හැදෙන්නේ ඒ ඒ භාෂා කතා කරන අයගේ අත්දැකීම් හා ඒ අය ලෝකය දකින ආකාරය පදනම් කරගෙනයි. විවිධ සමාජ රටාවල ජීවත් වෙන අයට ලැබෙන අත් දැකීම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා යම් බසක තියන පිරුළක් අනිත් බසක් කතා කරන අයට නුහුරු රටාවක් ගන්න පුළුවන්.

ඒ විතරක් නොමෙයි, යම් භාෂාවක අතීතයේ හැදුන පිරුළු අද එය තම මව් බස විදිහට කතා කරන අයත් භාවිතා කරන්නේ සාම්ප්‍රදායික ව්‍යවහාරය නිසා මිස තම අත්දැකීමෙන් නොවන්නට හැකියි. මොකද, එදා තමන්ගේ මුතුන් මිත්තෝ ගත කළ ජීවන රටාව නෙමෙයිනෙ අද නූතන සමාජයේ ජීවත් වෙන්නන්ට තියෙන්නේ.

කෙසේ වෙතත් අද ඉංග්‍රීසි භාෂාවේ මෙවැනි රසවත් යෙදුම් කීපයක් දෙස අවදානය යොමු කරමු.

1. Once bitten, twice shy.

'
එක වතාවක් සපා කෑමකට ලක් වුණ කෙනෙක් දෙවතාවක් පස්ස ගහනවා' වැනි අදහසක් ඇති මෙයින් කියවෙන්නේ යම් දෙයක් නිසා එක වතාවක් කරදරයක වැටුන කෙනෙක් ඉන් පසුව එවැනි දේවලදී ඉතා පරිස්සම් වෙන බවයි. අපි මේ වගේ තැන්වල සමහර වෙලාවට සිංහලෙන් 'ගිණි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරියාටත් බයයිලු' කියනවා.

2. Dogs bark, but the caravan goes on.

බල්ලො බිරුවට කරත්ත පෙළ නතර වෙන්නේ නැති බව පැවසෙනවා. යම් කෙනෙක් කොපමණ දැඟලුවත් යම් දෙයක් වෙනස් කිරීම හෝ නැවැත්වීම කළ නොහැකියි කීමට මෙය යොදා ගැනෙනවා. සිංහලෙන් 'බල්ලෙක් බිරුවාට කන්දක් සෙලවේද?' කියලා මීට තරමක් සමාන කතාවක් තියනවා. 

3. Carrying coal(s) to New Castle. [BrE]

'
නිව් කාසල්' කියනනේ ඒ කාලෙ ගල් අඟුරු බහුලව ලබා ගත් ප්‍රදේශයක්. එවැනි තැනකට ගල් අඟුරු රැගෙන යාම පල රහිත ක්‍රියාවක් නිසා එවැනි නිශ්ඵල ක්‍රියාවලට මෙය සමාන කෙරෙනවා. සිංහලෙන් 'කුරුණෑගලට පොල් අරන් යනවා වගෙයි' කියලා මෙවැනි කියමනක් අහලා තියෙනවා.

4. Killing the goose that lays the golden eggs.

මේ කතාව හුඟක් අය අහලා ඇති. හැම දවසකම රත්තරන් බිත්තරයක් දැමූ පාත්තයෙක් - ඇතැම්  විට කිකිළියක් - බඩේ ඇතැයි සිතූ ඒ බිත්තර එකවර ගැනීමට සිතා බඩ පලා මරා, සියල්ල අහිමි කරගත් කෙනෙක් ගැනයිනේ ඒ.  පමණට වඩා එකවර අයිති කර ගන්න ගිහින් සියල්ල අහිමි කර ගන්නා අවස්ථාවල ඒ නිසා මෙම යෙදුම හමු වෙනවා. සිංහලෙන් 'රත්තරන් බිජු දාන කිකිළිගේ බඩ පලන් කනවා' වගේම 'බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න හදනවා' කියන්නෙත් තරමක් දුරට මේ අර්ථයෙන්.

5. Robbing Peter to Pay Paul.

'
පෝල්ට ගෙවීමට පීටර්ගෙන් සොරා ගැනීම' යයි කියවෙන මෙම පිරුළ පාවිච්චි කරනවා එක් අංශයක අවශ්‍යතාවයක් පියවා ගැනීමට වෙනත් අංශයක පාඩුවක් කර ගන්නා අවස්ථාවල - එසේ නැති නම් එක් කෙනෙකුගේ අවශ්‍යතාවයක් පිරිමැසීමට වෙනත් කෙනෙකුට පාඩුවක් කරන විට.  

6. A stitch in time saves nine.

 '
වෙලාවට යොදන එක මැහුමක් නිසා ඉදිරියේදී එවැනි මැහුම් නවයක් දැමීම වළක්වා ගත හැකියි' කියන්නේ හරියට සිංහලෙන් 'නිය පොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න වෙනකම් තියා ගන්න එපා' කියන තැන්වල වගේ.

7. Cutting off one's nose to spite one's face. (Cutting off your nose to spite your face.)

යමක් හෝ යමෙක් සමග ඇති තරහක් පිරිමැසීමට එයට/එම තැනැත්තාට මෙන්ම තමන්ටත් පාඩු වන දෙයක් කිරීම මීට සමාන කෙරෙනවා. සිංහලෙන් කියන්නේත් 'මූණත් එක්ක තරහට නහය කපා ගන්නවා' කියලනේ.

8. There's no smoke without fire.

'
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ' යනුවෙන් සිංහලෙන් කියවෙන මෙයින් දැක්වෙන්නේ කට කතාවක හෝ යම්කිසි සත්‍යයක් තිබිය යුතු බවයි.

9. A leopard can't change its spots.

'
කොටියාට තමන්ගේ පුල්ලි මාරු කළ නොහැකියි': කෙනෙක්ගේ පුරුදු ගතිගුණ වෙනස් නොවන බව දැක්වෙන මෙම යෙදුමට කරමක් සමානව අපි 'කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැ' කියනවා.

10. A bird in the hand is worth two in the bush.

'
අතේ ඉන්න කුරුල්ලා පඳුරෙ ඉන්න දෙන්නෙක් වටිනවා': දැනටමත් තමන් සතුව තියන දෙයක්, තවම ලැබී නැති - එහෙත් ඊට වැඩි වටිනාකමක් ඇති - දෙයකට වඩා වැදගත් බව මෙසේ දැක්වෙනවා.

11. A miss is as good as a mile.

'
කුඩා මග හැරී යාමක් ලොකු මග හැරී යාමක් වගේමයි': මෙයින් හැඟවෙන්නේ යමක් නොලැබී යන - හෝ වැඩක් වරදින - අවස්ථාවක, එසේ වුණේ සුළු හේතුවක් නිසාද, විශාල හේතුවක් නිසාද යන්න වැදගත් නොවන බවයි (කොහොමටත් වැඩේ වැරදිලානේ).

12. The pot calling the kettle black.

යම් අඩුපාඩුවක් - හෝ වැරැද්දක් - ඇති කෙනෙක් වෙනත් කෙනෙකුගේ එම අඩුපාඩුවම පෙන්නා දීමට යාමේදී මෙයට සමන කෙරෙනවා. මුට්ටියයි, කේතලෙයි දෙකම - දරවලින් උයපු ඒ කාලෙ - කළු නිසා කොහොමද මුට්ටිය කියන්නේ කේතලේ කළුයි කියලා.

12. There's one born every minute.

යම් කෙනෙක් මෝඩයෙක් බවයි මෙයින් දැක්වෙන්නේ. 'මේ වගේ මෝඩයෝ ඕනැ තරම් ඉන්නවා' වැන්නක් මෙයින් අදහස් වෙනවා.

13. A fool and his money are soon parted.

'
මෝඩයෙකුයි, එයාගෙ සල්ලියි ඉක්මනින් වෙන් වෙනවා': නුවණ අඩු පුද්ගලයෙකුට මුදල් හෝ වස්තුව ලැබුනත් ඒවා ඉක්මනින්ම නාස්ති කර ගන්නා බව මෙයින් කියවෙනවා.

14. Make hay while the sun shines. / Strike while the iron is hot.

අවස්ථාව උදා වී ඇති විට නොපමාව යමක් කළ යුතු බව මෙම කියුම්වලින් දැක්වෙනවා. පළමු ප්‍රකාශය ඉර පායා ඇති විට පිදුරු වේලා ගන්න යන්නත්, දෙවැන්න යකඩය රත් වී ඇති විට තලන්න යන්නත් පවසන අතර, බොහෝ වැඩ තමන්ම කර ගත් අතීත ජීවන රටාව සමග මේ ආකාරයේ පිරුළු බැඳී පවතිනවා. සිංහලෙන් තැටිය රත් වුණාම රොටිය පුච්චගන්න ඕනැකියනවා මීට සමාන අදහසකින්.

15. All that glitters is not gold.

'
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ' යනුවෙන් කව්රුත් දන්නා මෙම කියුම, යමක වටිනාකම එහි බාහිර ඔපයෙන්ම කිව නොහැකි බව ප්‍රකාශ කරනවා.

16. He who laughs last, laughs best/longest.

'
හොඳින්ම/වැඩියෙන්ම හිනා වෙන්නේ අවසානයේ හිනා වෙන්නායි': සැබෑ ජයග්‍රයණය වෙන්නේ අවසානයේ ලැබෙන ජයග්‍රහණය නිසා, අවසාන ජය ලබන තෙක් උදම් නොවී සිටිය යුතු බව මෙසේ පැවසෙනවා.

17. What the eye doesn't see, the heart doesn't grieve over.

'
ඇසට නොපෙනෙන දේ ගැන හදවත දුක් නෙවෙයි': යම් ඉතා නරක සිදුවීමක් ගැන හෝ යමෙක් නොදන්නා තාක් කල් එයින් එම තැනැත්තාගේ මානසික තත්වයට බලපෑමක් නොවන බව මෙයින් හැඟවෙනවා.

18. The early bird catches the worm.

'
පනුවා අල්ල ගන්න පුළුවන් වෙන්නේ කලින් එන කුරුල්ලාටයි', එනම් ප්‍රමාද වන්නන්ට යම් අවස්ථාවකින් ප්‍රයෝජනය නොලැබෙන බවයි. 'අපායට ගියත් ඉස්සරලා යන්න ඕනැ' යන සිංහල යෙදුම තරමක් සමානව යෙදෙනවා, අර්ථය වෙනස් වුණත්.

19. Slow and steady wins the race.

හෙමින් නමුත් දීර්ඝ කාලීන කැප වීමෙන් යමක් කිරීමෙන් එහි සාර්ථකත්වය ලබා ගත හැකි බව කියන මෙම පිරුළ එන්නේ අපි කව්රුත් දන්නා 'ඉබ්බයි, හාවයි රේස් දුවපු කතාවෙන්'.

20. Mighty oaks from little acorns grow.

සුළු ආරම්භයක් ඇති ඇතැම් අය පසුව විශාල දියුණුවක් ලබා ගැනීමට සමත් වෙන බව මෙයින් හැඟවෙනවා. බටහිර රටවල වැවෙන විශාල ඕක් ගස කුඩා බීජයකින් හට ගැනීම මෙයට පාදක වෙනවා.

Let's end this post on that note. Remember: Mighty oaks from little acorns grow!

(Image credit:
mike ashworth)




5 comments:

  1. ඉතා අගනා ලිපියක්. හොඳ පිරුළු එකතුවක්...

    ReplyDelete
  2. හුඟක් වටිනවා. තව මේ වගේම සෙට් එකක් දාන්න.

    ReplyDelete
  3. @Chathura Wijekoon|චතුර විජේකෝන්
    ස්තුතියි.

    ReplyDelete
  4. @උදාර
    බලමු ඉදිරියට.

    ReplyDelete
  5. සිංහළ පිරුළු වලට සමාන ඒවත් තියෙනවා.
    උදා: "හැම කිල්ලෝටෙකම හුණු තිබේ.


    " every closet has dirty clothes"

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails