Saturday, February 5, 2011

එයාලගෙ විප්ලවය.


මේක මට ලියන්න හිතුනෙ නදී ලියල තිබුන ලිපියක් කියවපුවමයි.


88 - 89 කාලෙ හරි පුදුම කාලයනෙ. ඒක තේරෙන්නෙ දැන්. ඒ දවස් වල තිබුන බරපතල කම අපිට තේරුනේ තවත් අචුරුදු ගානකට පස්සෙ කිව්වොත් හරි. ඔය කාලෙ ගැන බොහොම අය බොහොම දේවල් ලියල තියනවනෙ. ඔය කාලෙ ගැන ගොඩක් අයට කියන්න තරම් හොඳක් නැති තරම්. ඒත් ඉතින් මතක් කරල හිනාවෙන්න පුලුවන් දේවලුත් සිද්ද නොවුනෙත් නැහැ.

ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ ඉගෙන ගන්න බලාගෙන නෙවෙයි. ගෙදරින් එලියට බැහැල යන්න දුන්න එකත් පුදුමයි දැන්නම්. ඉස්කෝලෙ පටන් ගන්න සීනුනව වෙනුවට පත්තුවෙන්නෙ රතිඤ්ඤ. ඒකත් පත්තු වෙන්නෙ විදුහල්පති තුමාගෙ කාර්යාලය යට (එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න වෙනම කතාවක් ලියන්න වෙනවා).  ගුරුවරු පන්ති වලට එන්නෙ නැහැ. කොල්ලො ටික ඔක්කොම එලියට බහින්වා... උද්ඝෝශන කරන්න.

ටික දෙනෙක් පන්තියට වෙලා ඉන්නවා. කවුරු හරි හිතනවනම් ඒ බයකට කියලා ඒක එහෙම නෙවෙයි. රටේ සිද්දවෙන දේවල් ගැන මම ඒ දවස් වල හිටීයෙ කැමැත්තකින් නෙවෙයි. කවුරු කවුරුත් දේශ ප්‍රේමයයි, ජාතික ආරක්ෂාවයි ඉස්සරහට දමාගෙන කලේ වැරදි වැඩනෙ.

ඔන්න කට්ටිය ඔක්කොම ප්‍රධාන ගේට්‍ටුව ගාව ‍රැස් වෙලා උද්ඝෝශනය. කට්ටිය J.R. (මේක 88 කතාවක්) මහත්තයගෙ පඹයෙකුත් හදාගෙන. සංවිධානය කරපු අයියලගෙ කතාව වෙනද වගේ ඉස්කෝලෙ ඇතුලට සීමා නොවී කට්ටිය පාරට බහින්න. අල්ලපු වැටේ තියෙන්නෙ "බාලිකාව". දැන් සැලැස්ම බාලිකාවට ගිහින් එහෙ ඉන්න ගෑනු ලමයි ටිකත් පාරට බස්සන්න. ඊට පස්සෙ ටවුමෙ එහා කෙලවරේ තිබුන පිරිමි පාසලට පෙලපාලියෙ ගිහින් එහෙ ඉන්න කොල්ලොත් උද්ඝෝශනයට එක්කර ගන්න. ඊට පස්සෙ ඒ කෙලවරේම තිබුන convent එකේ ළමයිනුත් එලියට ගන්න තමයි කට්ටියගෙම හිත.

බොහොම අයට උද්ඝෝශනයට වඩා ගැහැනු ඉස්කෝල වලට යන එකේ තමයි ආතල් එක තිබුනෙ.

අපි කීප දෙනෙක් විතරක් පංතිවල. අයියල කීප දෙනෙක් ඇවිත් තග දලා අපිව පංතිවලින් එලියට පැන්නුවා. දැන් ඉතින් මොනව කරන්නද. common sense කියන දේ  අබ ඇටයක් තරම්වත් තියෙන ඕනෙ කෙනෙකුට තේරෙනව විප්ලව කරන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ කියල. එක්කො පොලිසියෙන් ගුටි නැත්නම් වෙඩි. එහෙම හිතාගෙන සෙනග අයිනට වෙලා අපි ටික දැන් ඉන්නවා.

ඔය අස්සෙ එකෙක් කිව්වා, මචං, එන පොට හරි නැහැ, අපි පනිමු කියල. ඉස්කෝලෙ පැත්තක ගේට්‍ටුවක් තියනව. අපි එතෙන්ට හෙමින් කිට්‍ටු කරනකොට අයිල දෙන්නෙක් එතන මුර, අපි වගේ අය පැනල යන එක වලක්වන්න. අද වගේම තමයි ඒ දවස් වලත් ගල් පැලෙන බොරු කියන්න අපි දක්ෂයි.

"අයියෙ, අන්න පෙළපාලිය යන්න හදනව, ඔයාලට එන්න කිව්වා X අයියා."
"අපි ගේට්‍ටුව බලා ගන්නම්....!"

අනේ අපරාදෙ කියන්න බැහැ ඒ අයියල දෙන්න....... අද නම් කොහේ ඉන්නවද දන්නෙ නැහැ......., ඒක අහපු ගමන්ම යන්න ගියා.

ගේට්‍ටුව ගාව ඉඳලා මහ පාරට මීටර් 100 විතර තියනවා. මහ පාර කිව්වට කොළඹ නුවර පාර. ගෙදර යන්න පාර පනින්න ඕනෙ. පාරෙ ඉඳල අහු උනොත් කෙලින්ම පොලිසියෙ. කරන්න දෙයක් නැහැ. කවදාවත් නොගිය පාරකින් කඩේක පිටි පස්සට ආව. කඩේ වැඩ කරපු ගෝලයෙකුට කිව්ව පාරෙ පොලිසියෙන් ඉන්නවද බලන්න කියල. හැබැයි ඉතින් කඩේ හිටිය අයත් අපිට බොහොම සහයෝගයක් දුන්න.

අපේ වාසනාවට පාරෙ පොලිසියෙන් හිටියෙ නැහැ. කට්ටිය පාර පැන ගත්තා. පාර දෙපැත්ත බැලුවද කියල මට අදවත් මතක් වෙන්නෙ නැහැ. ඔන්න ඉතින් වෙනද ගෙදර යනවට වඩා තුන් ගුණයක් විතර ඇවිදල, ඔලුව වටේ කණ අත ගානව වගේ මහ වටයක් ගිහින්, අනුන්ගෙ වතු උඩින්, වැටවල් උඩින්, ඇලවල් දිගේ ගිහින් ගෙදර ආව.

පස්සෙ ආරන්චිය ගෙදරට ආව, කට්ටියට හොඳට පොලිසියෙන් නෙලල. වාසනාවට වෙඩි තියලා නැහැ.

අල්ලපු ගෙදර කොලුවට කොසු මිටක් විතර වේ වැලකින් කොන්දට පාරක් දීලා. මම හවස මිනිහව බලන්න යනකොට අම්මා ඉදිමුමට තෙල් ගානව. ඒ මදිවට පොලිසියෙන් බේරෙන්න අඩි 15 විතර බැම්මකින් පැනලා. කොන්ද නොකැඩී බේරුන එක ඇති. අප්සෙට්ම කතාව තමයි, මිනිහගෙ පවුලම අමු UNP. එහෙව් එකා තම්යි JR ට විරුද්ධව උද්ඝෝෂණය කරල ගුටි කාල තියෙන්නෙ.

එදා ගොඩක් අයගෙ කතාව ඔය වගේ තම්යි.

එදා පෙලපාලියෙ සංවිධායකයො AL කරලා කැමපස් ගියා. අද ආණ්ඩුවෙම හොඳ රස්සා කරනවා.

ඔන්න එයාලගෙ විප්ලවය.

1 comment:

  1. හී හී, ඔන්න ඒ කලේ විප්ප්ලව , අදටත් වැඩි වෙනසක් නැ ඕකම තමයි නේද අය්යේ වෙන්නේ

    ReplyDelete