Friday, October 30, 2009

මගේ වැරැද්දද... රටේ වැරැද්දද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණෙයි මහ මැතිවරණෙයි දෙක ම එකට තියන්න යනවලූ.මිනිස්සු කියනව සරත් පොන්සේකා එක්සත් ජාතික පක්ෂෙ පොදු අපේක්ෂකය කරන්න හදනවලූ. ඇයි දන් නෑ ඒ කිසි දෙයක් ඒ තරම් මගේ ඇගට දැනෙන් නෑ. මේ රටේ කිසි දෙයක් වෙන්නෙ නෑ කියන එක විතරයි මට දැනෙන්නෙ.

මට පොඩි කාලෙදි මගේ යාළුවො කිව්ව මං ඉන්නෙ හීන ලෝකෙක කියල. මට ඒ කාලෙදි තේරුන් නෑ මොකක්ද එයාල කියන්නෙ කියල. ඇත්තටම නම් තේරුම් ගන්න ඕනකමක් තිබුණෙත් නෑ. ඒත් හැබැයි මට දැන් තේරෙන විදිහට නම් ඒ කාලෙදිත් ඒ අය දැනගෙන හිටිය මේ රටට හරියන විදිහට ජීවත් වෙන්න.මං හිතන විදිහට මේ රටේ ජීවත් වෙන්න අමාරුයි කියල මට තේරුන් නැති වුණාට මගේ වයසෙ හිටපු අනිත් අයට ඒක තේරිල තිබුණා. මං නිදහස කියන වචනෙත් එක්ක ජීවිතෙ දිහා බලන්න පුරුදු වෙල තිබුණෙ. මං ආස කලේ ඒ විදිහට ජීවත් වෙන්න. ඒ කාලෙදි මං හිතුවෙ මං ජිවත් වෙන විදිහ හරි කියල. කොයි වෙලාවකවත් මට තේරුණේ නෑ මට කොතන හරි වැරදිල කියල.

දැන් මට සමහර දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒව හරිමද කියල නම් මං තාම දන්නෙ නෑ. ඒත් මට හිතෙන විදිහට නම් මගේ වයසෙ ඉන්න අනිත් අයට විඳින්න හම්බ වුණ ලෝකෙයි මට හම්බුණ ලෝකෙයි ගොඩක් වෙනස්. මට ඕන වුණෙ වෙනස් විදිහට දේවල් දකින්න. ඒත් සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අයින් කරල රැඩිකල් විදිහට ඉන්න තරම් හයියක් මට තිබුණෙත් නෑ. එි නිසා හැමවෙලේම සම්ප්‍රදායයි රැඩිකල් ලෝකෙයි මැද්දෙ තමයි මට ඉන්න සිද්ධ වුණෙ. එතකොට මට සාම්ප්‍රදායික ගැහැණු සමාජෙ කොටසකුයි රුඩිකල් සමාජෙ කොටසකුයි miss වෙනව. මට රැඩිකල් වෙන්න බෑ මං පවුලක් ඇතුලෙ ජීවත් වෙන නිසා. මට සාමිප්‍රදාමික ගැහැණියෙක් වෙන්න බෑ ඒක හරි ගොං කියල දැනෙන නිසා. සාම්ප්‍රදායික සමාජයක් ඇතුලෙදි ගැහැණියෙක්ට තියෙන්නෙ කොහොම හරි මිනිහෙක්ව කසාද බැඳගෙන ළමයෙක් හදාගෙන තමන්ගෙ ජීවිතේ ළමයා බවට පත් කරගෙන ජීවත් වෙන්න. එතනින් එයාලගෙ ජීවිතේ ඉවර වෙනව.

හ්ම්ම්.... දැන් මට ජීවිතේ ගැන වගකීමකින් හිතන්න වෙලා. ඉස්සර නම් ඇත්තටම කිසිම වෙලාවක මට මේ වගේ දේවල හිතුණෙ නෑ. ඉතිං..මට ආපහු හැරිල සාම්ප්‍රදායික වෙන්න නම් අමාරුයි. දැන් රට ඉස්සරට වඩා සංස්කෘතික වේගෙන එන නිසා රැඩිකල් වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලත් මං හිතන්නෙ නෑ. ඒ නිසා සමහර විට මං දැකපු ජීවිතේට යන පාර මගින් නවත්තන්න වේවි... අකමැත්තෙන් වුණත්...

No comments:

Post a Comment