June 18, 2011

Cruncher 2011 පරිඝනක ක්‍රීඩා නිර්මාණ තරගාවලිය



පරිඝනක ක්‍රීඩා කිව්වම ඔබේ මතකයට නිතැතින්ම නැගෙන්නෙ මොන වගේ හැඟීමක්ද? සමහරවිට ඔබ වැඩිහිටියෙක් නම් හිතේවි තමන්ගෙ දරුවට විභාග වලදි ලැබෙන ලකුණු අඩු වෙන්නෙ මේ ක්‍රීඩා වලට ඇබ්බැහි වුණු නිසා කියල. ඔබ තරුණයෙක් නම් ඔබේ මතකයට ඒවි ඔබ මෑතකදි ක්‍රීඩා කරපු ඔබ ආසම කරන පරිඝනක ක්‍රීඩාවෙ දර්ශනයක්. බුද්ධිය මෙහෙයවා ජයගත යුතු තීරණාත්මක අවස්ථා, ලොමු දැහැගැන්වෙන ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම්, අති නවීන පරිඝනක මෙවලම් ඔබේ මතකයට නැගේවි. කොහොම නමුත් මේ ක්‍රීඩාවලට පවතින ආකර්ෂණය නම් දවසින් දවස එන්න එන්නම වැඩි වන බව නම් පැහැදිලියි.

ඉතින් මෙන්න මේ වැඩිවන ආකර්ෂණය සහ ක්‍රීඩාවල නිරත වෙන්න අපේ අයගෙ තිබෙන උනන්දුව වෙනත් මානයක් වෙත ‍රැගෙන ගොස් අපේ රටේ තරුණ බුද්ධිමත් පරපුරටත්, රටටත් නව මාවතක් එළි කරල දෙන්න ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) තරුණ සාමාජිකයන්ගේ අංශය(YMS) කල්පනා කළා. එම සංකල්පනාවේ ප්‍රතිඵලය බවට පත් වුණේ Cruncher 2011 පරිඝණක ක්‍රීඩා නිර්මානය කිරීමේ තරගාවලියයි. ශ්‍රී ලාංකේය පරිඝනක ක්‍රීඩා නිර්මාණය කර ඒවා ලෝක මට්ටමට ‍රැගෙන යාම තමයි ඔවුන්ගේ මූලික අභිප්‍රාය. ඒ හින්දම තමයි ඔවුන්ගෙ තේමාව විදියට make games-make global කියල යොදාගෙන තිබෙන්නෙ. ඒ වගේම තමයි මෙවැනි තරගාවලියක් අපේ රටේ පැවැත්වෙන පළමු වතාවත් මේකයි.

කෙනෙකුට හිතෙන්න පුලුවන් ඇයි මේ වගේ දෙයක් මේ අවස්ථාවෙදි කරන්න ඔවුන් හිතුවෙ කියල. අපේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන් රන් දොර‍ටුවක් විදිහට ඔවුන්(YMS) පරිඝණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ ක්ෂේත්‍රය හඳුනාගෙන තියනවා.. ඔබ විශ්වාස කරනවද ඇමරිකා එක්සත් ජනපදය හොලිවුඩය නැමැති ඔවුන්ගේ අතිශය ජනප්‍රිය සිනමා කලාවට වඩා ආදායමක් ඔවුන් ඔවුන්ගේ පරිඝණක ක්‍රීඩා කලාව තුලින් උපයන බව... ඒ වගෙම 2003 වසරේ සිට 2006 වසර දක්වා සැලකීමේදී පරිඝණක ක්‍රීඩා වල වර්ධන වේගය 17% කටත් වඩා වැඩි ප්‍රමාණයකට පත් වෙලා. මේ වනවිට එය තවත් ඉහල ගිහිල්ලා.. ඔන්න ඕකයි ලෝකය තුල මේවාට තිබෙන ඉල්ලුම... YMS එක කියන්නේ මේ ඉල්ලුම සපුරාලන්න අපිටත් අපේ සම්පත් වලින් දායක වෙන්න පුලුවන් බවයි... ඉතින් ඔවුන්ට අනුව මේක තමයි හොඳම අවස්ථාව මෙවැනි තරගයක් සංවිධානය කරන්න.

ඔවුන් මෙම තරගය සංවිධානය කරන්නෙ IESL මගින් සංවිධානය කරන Techno 2011 කියන වාර්ෂික අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනයට සමගාමීවයි. තරගාවලිය පිළිබඳ සියළු තොරතුරු ලබාගන්න පුලුවන් www.cruncher.lk කියන වෙබ් අඩවියට ගියොත්. ඒ වගේම IESL Cruncher 2011(https://www.facebook.com/ieslcruncher) කියන Facebook මිතුරු සමාජයට සම්බන්ධ වෙලා තරගය පිළිබඳ නවතම තතු විත්ති දැන ගන්න ඔබට පුලුවන්.

පාසල්(school), විශ්ව විද්‍යාල(undergraduate) සහ විවෘත(open) වශයෙන් තරගකරුවන් මූලික වශයෙන් කොටස් 3ක් යටතේ වර්ගීකරණය කෙරෙනවා. එයින් පසුව ඔවුන් ක්‍රීඩා නිර්මාණකරණයට යොදාගන්න පරිඝනක මෘදුකාංග සහ තාක්ෂණය අනුවත් යම් වර්ගීකරණයක් කෙරෙනවා. ඒ වගේම, පරිඝනක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට දැනුම නැති, නමුත් නිර්මාණශීලී අදහස් ඇති අයට story board යනුවෙන් තවත් තරගයක් පැවැත්වීමටත් කටයුතු කෙරෙනු ඇති.

අපේ රටේ පරිඝනක මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ‍රැසකගේ අධීක්ෂණයට යටත්ව විධිමත් නීති රීති පද්ධතියකින් සමන්විතවයි තරගය ක්‍රියාත්මක වන්නේ. කලින් සඳහන් කළ පරිදි සියලු විස්තර නිල වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්. ලියාපදිංචි වෙන්නෙ කොහොමද, ඉන් අනතුරුව කළයුතු දෑ මොනවාද වැනි අවශ්‍ය කරන සියලු තොරතුරු ඔබට එමඟින් ලබාගත හැකියි.

ඉදිරිපත්වන සියල්ලන්ට වටිනා සහතිකපතක් පිරිනැමීමටත්, ජයග්‍රාහකයන්ට ආකර්ෂණීය මුදල් ත්‍යාග පිරිනැමීමටත් කටයුතු සංවිධානය කර හමාරයි. ඒ වගේම සහභාගි වන්නන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳවත්, නව තාක්ෂණයන් සහ මෘදුකාංග පිළිබඳවත් නව දැනුම ගෙන දෙන වැඩමුළු පැවැත්වීමටත් සංවිධායක මණ්ඩලය අදහස් කරනවා. ත්‍යාග සහ සහතිකපත්‍ර පසෙකට දැමූවත් අපේ රටේ ප්‍රමුඛ මෘදුකාංග ඉන්ජිනේරුවන් සමග කටයුතු කිරීමට ලැබීමම කොතරම් වරප්‍රසාදයක්ද? ඒ වගේම මෙය අති විශිෂ්ට දක්ෂතා ඇති අයෙකුට තම අනාගතය තීරණය වන අවස්ථාවක් වන්නටත් පුලුවන්.

ඒ වගේම ඔබ නිර්මාණය කරන පරිඝනක ක්‍රීඩා අතුරින් යම් ‍තෝරාගත් ප්‍රමාණයක් www.cruncher.lk නිල වෙබ් අඩවිය ඔස්සේ සාමාන්‍ය ජනතාවට බාගත(download) කිරීමට අවස්ථාව ලබා දී එමගින් ජනප්‍රියම ක්‍රීඩාව ‍තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමටත් අදහස් කර තිබෙනවා. ශ්‍රී ලාංකේය ආරකින් (Sri Lankan touch) නිර්මාණය කෙරෙන අපේ ක්‍රීඩා සඳහා ගෝලීය අවධානයක් ලබාදීමේ පළමු පියවර මෙය වනු ඇති.

ඔබ මීට පෙර ක්‍රීඩා නිර්මාණය කර තිබීම අනිවාර්ය වන්නේ නැහැ. වඩා වැදගත් වන්නේ ඔබ කොතරම් නිර්මාණශීලීද යන්න පමණයි. ඉතින් ශ්‍රී ලංකා නාමය පෙරට ගෙන ගොස් "make games-make global" යන තේමාව අරුත් ගන්වන්නට ඔබත් කැමති නම් නොපමාව Cruncher 2011 සඳහා ලියාපදිංචි වන්න. මේ ඔබේ අවස්ථාවයි...

වැඩි විස්තර සඳහා : 
ieslcruncher2011@gmail.com
www.cruncher.lk
https://www.facebook.com/ieslcruncher
Lakshitha : 0718359944      Bhathiya  : 0772975634       Aabid    : 0716390321

No comments: