WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

1/17/2011

රට දිනවන හොඳම කණ්ඩායම

"ඔව් මට පුළුවන් ..." ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා විකුණාගෙන කන පාඨය මෙයයි. මේ පාඨය පාදක කරගෙන පැය ගණන් දේශනා තැබීම සහ රූපවාහිනී විකාශ කාලයන් වැය කිරීම සුලබය. මේ පාඨයේ කිසිම දෝශයක් හෝ අයහපතක් නැත. නිවැරදිව යොදාගතහොත් දියුණුවීමට මේ තරම් දෙයක් නැත. එහෙත් මෙය වැරදියට අර්ථදක්වා ගතහොත් ඔබ අපහසුවට පත්වීමට ඉඩ ඇතිබව පැහැදිළිය.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් විය යුතුයැයි මුලින්ම පුවත්පත් හරහා ලියද්දී නොයෙක් ආකාරයේ චෝදනා එල්ලවිය. එහෙත් සනත් ඉවත් විය යුතු යැයි අපි නිතරම කීවේ කරුණු දෙකක් මුල් කරගෙනය. පළමු වැන්න සනත් වැනි මහා චරිතයක් ඉවත් කළ යුතු අයකු නොව තමන්ගේ කැමැත්තෙන් ඉවත්විය යුතු නිසාය. දෙවැන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට යායුතු නිසාය. එහෙත් සනත් තමන් මහා චරිතයක් බව වටහාගත්තේ නැත. තමන්ගේ වටිනාකමේ ප්‍රමාණය නොදැනීම අනුවණ කමක් යැයි මා මේ තීරයේ ලියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. සනත් ගෞරවාන්විතව සමුගත යුතු යැයි මා ලීවේ කාලයක සිටය. එහෙත් අප වැනි මාධ්‍යකරුවන්ගේ හඬට කන්දීමට සනත් වැන්නන් නොසිතීම  නිසා ඔහුට "ඉවත් කර දමන ලදි" යන ලේබලය ගසා ගැනීමට සිදුවිය.

යළිත් මතක් කරන්නේ සනත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය ගැන තර්කයක් නැත. එය මිල කළ නොහැක. එහෙත් ඔහු කිරි කළයට ගොම බින්දුවක් දා ගත්තේය. "ඔව් මට පුළුවන්" කියා සනත් කීවාට "නැහැ ඔබට මේ මට්ටමට බැහැ" කියා අරවින්ද කීවේය. එය කවුරුත් ආදර්ශයට ගතයුතු තත්වයකි. එකම දෙය කරන සිය දෙනෙකුට ඔව් මට කියා සිතෙන්නට ඉඩ තිබේ. එහෙත් දහ දෙනෙකු තෝරාගනිද්දී මට පුළුවන් කිව්වාට මදිය. හොඳම දහය විය යුතුය.

සනත් පසුගිය කාලයේ දැඩිව උත්සාහ ගත්තේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායමට එක්වීමටය. 5 වතාවක් ලෝක කුසලානයට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකුට තවත් වතාවක් ක්‍රීඩා කරන්නට සිතෙන්නේ ඔහු ක්‍රීඩාවට ඇති දැඩි කැමැත්ත නිසා යයි කිව හැකිය. එහෙත් සනත් ඔහුගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ එය එසේමද යන්නය. ඔහු වයස අවුරුදු 40 ඉක්මවූවකු යැයි කිව නොහැකි තරම් ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බව සත්‍යයකි. ඔහු සමඟ ශාරීරික යෝග්‍යයතාවයෙන් සමවන්නට ශ්‍රී ලංකා පිලේ එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකුට වඩා නැත. එහෙත් සනත් ගේ  ක්‍රිකට් ඇඟෙන් ගහන ක්‍රිකට් නොවේ. සනත්ගේ ක්‍රිකට් ඇස සහ අත මත පදනම් වූ ක්‍රිකට්ය. මේ ගැන මා මීට පෙරත් ලියා ඇත. ඇසින් දකින වේගය වෙනදාට වඩා තත්පරයෙන් දාහෙන් එකකින් ප්‍රමාද වුවත් පන්දුව කඩුල්ල දක්වා යනු ඇත. එසේ නැත්නම් අවශ්‍යය පහර පමාවනු ඇත. සනත් මේ සරල යථාර්ථය තේරුම් ගත්තේ නැත. ඇඟේ හයිය සිතේ හයිය තිබුණාට මොළය පණිවුඩ යවන්නට යන්තම් හෝ පමාවේ නම් ප්‍රශ්නයකි.

සනත් මේ පාඩම දේශපාලනයේදී හෝ ඉගෙන ගෙන අනාගත රත්නසිරි වික්‍රමනායක කෙනෙකු නොවනවා නම් හොඳය.

මෙවර ලෝක කුසලාන තරඟාවලියට තෝරාගත් කණ්ඩායමේ බොහෝ තෝරා ගැනීම් ගැන අප එකඟය. එහෙත් පසුගිය සතියේ දී කියූ ආකාරයටම තරඟ 50ක් ක්‍රීඩාකර තිබීමේ සීමාව මෙහිදී සලකා බලා නැත. එහෙයින්ම තිසර පෙරේරා, තිලාන සමරවීර සහ චාමර කපුගෙදර යන තිදෙනාට අති විශාල වගකීමක් පැවරේ. තිසර පළමු එකොළොස් දෙනා අතර ක්‍රීඩා කරන බව පැහදිලිය. ශ්‍රී ලංකාව ඩිල්ෂාන්, උපුල්, සංගක්කාර, මහේල, සමරවීර, මැතිව්ස්, තිසර, නුවන්, මාලිංග, අජන්ත සහ මුරලි යන එකොළොස් දෙනාගෙන් ක්‍රීඩා කරන්නට යන බවද පැහැදිලිය. මෙහි වෙනසක් වේ නම් වනු ඇත්තේ එක් පන්දු යවන්නෙකු අඩු වී චාමරලා දෙදෙනා ගෙන් කෙනෙකු ඇතුලට පමිණීම සහ උපුල් අසාර්ථක වුවහොත් හෝ අනෙක් කණ්ඩායම් පුදුමයට පත්කිරීමට තිසර පෙරේරා ආරම්භක පිතිකරුවා වීමය. ඒ හැරෙන්නට මේ කණ්ඩායම නම් වන බව අපි දැන සිටියෙමු.

අජන්ත මෙන්ඩිස් මෙහිදී සුවිශේෂී සාධකයකි. මුරලි අවසන් එක්දින තරඟාවලි කීපයේදීම ප්‍රහාරයට ලක් වූයේය. මේ නිසා මුරලි ලෝක කුසලානයේ දී ද ප්‍රහාරයට ලක් වන්නට තිබෙන ඉඩ වැඩිය. ඒ අනුව මුරලි මේ තරඟාවලියේදී ප්‍රධාන ප්‍රහාරකයා නොවේ. මෙන්ඩිස් සහ මාලිංග ප්‍රධාන ප්‍රහාරකයෝ වෙති. මෙවර අන්තර් සමාජ තරඟාවලියේදී මෙන්ඩිස් ඉතා හොඳ රිද්මයකට පැමිණියද ජාත්‍යන්තර තරඟවල තට්වය වෙනස්ය. ඔහුව ඉතා හොඳින් තේරුම් ගැනීමට පිතිකරුවන් සූදානම්ය. එහෙත් දවසේ රිද්මය අනුව මෙන්ඩිස් ප්‍රතිවාදීන් විනාශකළ හැකි ක්‍රීඩකයෙකි. මේ තෝරා ගැනීම අතීතයේ සනත් ජයසූරිය පිතිකරුවකු ලෙස නම් කළ අවස්ථාවන්ට සමානය. එහෙත් එවැනි තෝරාගැනීතේරීම් කමිටුවට අවශ්‍යව තිබෙන්නේ විවිධත්වයක් සහිත  පන්දු යවන්නන්ය. ඒ ආකාරයෙන් බලනවිට මෙන්ඩිස් අසාර්ථක වුවහොත් අවශ්‍යය පා දඟ පන්දු යවන්නෙකු නිසා රංගන තෝරාගත් බව පැහැදිලිය.

එහෙත් එයට වඩා හොඳම රිද්මයේ සිටින පන්දු යවන්නන් තෝරා ගැනීම හොඳය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ දී හොඳම රිද්මය තිබුනේ අරවින්ද ද සිල්වා නම් පන්දු යවන්නාටය.

දිල්හාර තෝරා ගැනීම ගැන සියට සීයක් අප එකඟය. එහෙත් දිල්හාර මේ අවස්ථාවේ දී වත් තමන්ගේ හැකියාව ගැන තේරුම් ගත යුතුය. පෙර කියූ අයුරින් තමන් ගන මහා ඉහළින් සිතා සිටීම මෙන්ම තමන්ගේ හැකියාව කොතරම්ද කියා නොදැන එයින් නිසි ප්‍රයෝජන නොගැනීමද අනුවණකමකි. දිල්හාර මේ තත්වයෙන් මේ තීරණාත්මක තරඟාවලියේදී හෝ මිදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. චමින්ද වාස් කණ්ඩායමට නම් නොකරන්නට හේතු 3ක් තිබේ. පළමුවැන්න තිසර අතිසාර්ථකව ඉදිරියට ඒමයි. දෙවැන්න අරවින්ද කියූ ලෙසම නුවන් කුලසේකර ඉවත්කරන්නට බැරි තරම් දස්කම් දක්වා තිබීමයි. වාස්ට ඉඩ ඇත්තේ මේ ස්ථාන දෙකෙහි පමණි. තෙවැන්න ජයසූරියයි. යම් හෙයකින් වාස් නම් කළේ නම්, ජයසූරිය නම් නොකළේ ඇයිද යන ප්‍රශ්නය දරුණුව ඉදිරිපත් වීමේ හැකියාවක් තිබිණි. අරවින්ද පාදයක් පසුපසට ගෙන තමන්ගේ කඩුල්ල ආරක්ෂාකර ගත්තේය.

වේග පන්දු යවන්නෙකු, පන්දුව දෝලනය කරමින් පන්දු යවන්නෙකු, පන්දුවට පහර දිය හැකි මඳ වේග පන්දු යවන්නෙකු, මඳ වේග පන්දු යැවිය හැකි පිතිකරුවකු, විශිෂ්ඨ පිට දඟ පන්දු යවන්නෙකු සහ පා දඟ පන්දු යවන්නෙකු යන සැලැස්ම ඔස්සේ මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම නම් වෙයි. මෙය විවිධත්වය අතින් හොඳය. එහෙත් මා යළිත් මතක් කරන්නේ තිසර පෙරේරා හා අජන්ත යන දෙදෙනා ගැන අති විශාල බලාපොරොත්තු තබා ඇති බවයි. විශේෂයෙන්ම තිසරගේ පන්දු යැවීම තරඟයක තීරණයට දැඩිව බලපානු ඇතිබව මගේ හැඟීමයි. අරවින්ද නම් ජ්‍යේෂ්ඨයා පෙර කියූ පරිදි ලෝක කුසලාන තරඟයක පීඩනය දරා ගැනීමට තරඟ 50 ක් වත් ක්‍රීඩා කිරීම අවශ්‍යය වුවත් මේ තරුණයා තරඟ 15 ක් ක්‍රීඩා කර පිටියට බසියි. ඔහු එම පීඩනය ජය ගැනීම මත අනෙක් ක්‍රීඩකයන්ට පැටවෙන බර අඩු වැඩි වීම සිදුවෙයි. තිසර තරඟාවලියේ ශ්‍රී ලංකාව පැත්තෙන් තීරණාත්මක සාධකයයි. එහෙත් එය ඔහුට ඒත්තු නොගන්වා 1996 සනත් මෙන් තමන්ට කැමති ආකාරයකින් ක්‍රීඩා කරන්නට යැයි ඔහුට දැන්විය යුතුය. එසේම මඳ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වෙනුවට ජීවන් මෙන්ඩිස් වැනි දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ප්‍රශ්න පැන නොනඟින්නේ යැයි ලෝක කුසලානයෙන් පසුව කිසිවකුට කියන්නට සිදු නොවන ආකාරයෙන් ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුතුව තිබේ.

පිතිකරුවන්ගේ පත්තෙන් චාමර කපුගෙදර තමන්ට ලැබුණු අවස්ථාව නිවැරදිව යොදාගත යුතුය. ඔහුට තරඟයක් හෝ ක්‍රීඩාකරන්නට අවස්ථාවක් ලැබේද යන්න සැක සහිතය. එහෙත් පසුගිය කාලයේ ජාත්‍යන්තර තරඟවලදී ඔහු දැක්වූ දස්කම් අනුව මෙය ඔහුට ලැබුණු හොඳම අවස්ථාවකි. දිල්හාර මෙන්ම ඔහුද තමන් තෝරා ගැනීම නිවැරදි බව ඔප්පු කළ යුතුය. ශ්‍රී ලංකාව පැත්තෙන් තවමත් මහේල ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන්නේ නම් හොඳ බව අපේ අදහසයි. උපුල් තරංග අංක 3 ක්‍රීඩා කළහැකි ක්‍රීඩකයාය. විසයි විස්ස හා ටෙස්ට් තරඟවල කොතරම් දස්කම් දැක්වූවද මහේල එක්දින තරඟ වල තමන්ට කරන්නට හැකි දෙය කර නැත. ඒ ඔහුට නොගැලපෙන අංක 4 තුළ සිරගත කර ඇති නිසාය. ඔහු ඉනිම ආරම්භ කළ යුතුය. නැත්නම් අංක 3ට හෝ පැමිණිය යුතුය. මේ වෙනස්කම කිරීම ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතා යහපත් වෙයි. අනෙක් අතින් චාමර සිල්වා වෙනුවට තිලාන් සමරවීර ක්‍රීඩා කරයිනම් මහේල අංක 4 ක්‍රීඩා කිරීමේ කිසිම තේරුමක් නැත. හේතුව සමරවීර වැනි තාක්ෂණය නිවැරදි පිතිකරුවකු පිටුපස සිටීමයි. මේ නිසා පිතිකරු ලැයිස්තුව සකසද්දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වශයෙන් තමන්ගේ බලය පාවිච්චි කර හෝ මුල් ස්ථාන 3 මහේල ඉල්ලා සිටිනවා නම් එය ඔහුටත් කණ්ඩායමටත් වන සේවයකි. මහේලට එම ස්ථාන නොලැබී ඔහු සාම්ප්‍රදායික අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ නම් අංක 5 ස්ථානයේ සමරවීර සිටීමේ ප්‍රයෝජනයක් නැත. එසේ නම් චාමර සිල්වා හෝ කපුගෙදර ක්‍රීඩාකළ යුතුය. මීට වසර එකහමාරකට පමණ පෙර තිලාන් සමරවීර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැඳවා ගෙන ආවේ ලෝක කුසලානය වෙනුවෙන්මය. ඇත්තෙන්ම වර්ථමාන කණ්ඩායමේ සිටින ලෝක කුසලානය වෙනුවෙන්ම නිර්මානය කළ එකම ක්‍රීඩකයා සමරවීරය. එසේ නම් ඔහු ක්‍රීඩා කළ යුතුය. ක්‍රීඩා කළ යුත්තේ කණ්ඩායමට වැඩදායක ලෙසිනි.

මේ සියල්ල අතරේ ශ්‍රී ලංකා නායකයාට හිසේ කැක්කුමක් ඇතිබව පැහැදිලිය. එනම් තණතිලියි. සූරිය වැව සහ පල්ලෙකැලේ අමතක කරමු. ශ්‍රී ලංකාව ජයගතයුතුම තරඟ පැවැත්වෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතිල්ල පළමු පෙළ තරඟයකටවත් සුදුසු නැති නව පැහැදිලිවම දැකගන්නට ලැබුණි. මෙවැනි තණතිල්ලක කොතරම් දක්ෂ කණ්ඩායමක් වුවත් නොසිතූ පරාජයන්ට ලක්වන්නට ඉඩ තිබේ. කොතරම් හොඳ කණ්ඩායමක් සුවිශේෂී සැලැස්මක් යටතේ ඉදිරිපත් කළද තණතිලි පිස්සු නටයි නම් ප්‍රයෝජනයක් නැත. තමන්ගෙ රටේ තරඟ පැවැත්වෙන අවස්ථාවක අලුත් තණතිලිවල ක්‍රීඩාකරන්නට යෑම තරම් අනුවණ කමක් තවත් නැත. එහෙත් අපේ රටේ නිරන්තරයෙන්ම සිදුවන්නේ මෙවැනි දෑය.

මේ අතර ක්‍රිකට් ලෝකයෙන් තවත් අපූරු කථාවක් ඇසෙයි. එනම් කොතරම් දස්කම් දැක්වූවත් ශ්‍රී ලංකාවේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නම් ඔහු "චාලීස් ඒන්ජල්ස්" කෙනෙකු වියයුතුය කියාය. ඒ ගැන වැඩිදුර සොයා බලන්නට අපි ඔබට පවරන්නේ එය අපූරු දෙයක් නිසාය.




අවසාන වශයෙන් සනත් සහ වාස් ගැනකියමු. පසුගිය සතියේ ඉරිදා දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පවති විසයි විස්ස තරඟය මකායා න්ටිනි ගේ අවසන් තරඟය විය. ඔහු වෙනුවෙන් ඒ තරඟය වෙන්විය. ක්‍රීඩාගාර මකාය නමින් නම්විය. තමන්ගේ රට වෙනුවෙන් යමක් කළ ජාතියක් පිබිදවූ ක්‍රීඩකයෙකුට දකුණු අප්‍රිකාව ප්‍රණාමය පුද කළේ එසේය. කොදෙව් දූපත් සමඟ පැවැත්වෙන තරඟාවලිය කෙසේ හෝ පවත්වා එක් තරඟයකට වාස් සහ සනත් නම් කර සනත් ආරම්භක පිතිකරු ලෙසත්, වාස් ආරම්භක පන්දුයවන්නා ලෙසත් ක්‍රීඩා කරවන්න යැයි අපි ඉල්ලමු. මේ සඳහා සුදුසුම තරඟය පළමු තරඟයයි. මාලිංග සහ උපුල් තරංග එක් තරඟයක් ක්‍රීඩා නොකලා කියා ප්‍රශ්නයක් නැත. ඔවුන් සිටින්නේ හොඳ රිද්මයකය. පසුගිය සතියේ කියූ පරිදි ලෝක කුසලාන කණඩායම කියා එම ක්‍රීඩකයන් තරඟ 3ක්ම ක්‍රීඩා කරන්නට අවශ්‍යය නැත. අප මේ කණ්ඩායම නම් කළේ එක් තරඟාවලියකට පමණි. එහෙයින් සනත් සහ වාස් ගේ සමුගැනීම උත්සවාකාරයෙන් සිදුකළ යුතුය. එය අත්‍යවශ්‍යය. ලෝක කුසලාන තරඟ පැවැත්වෙන ක්‍රීඩා පිටි නිම කරගන්නට බැරි අපේ පාලක මණ්ඩලයට මෙය කරන්නට හැකිවේද යන්න ප්‍රශ්නයකි.

උපුටා ගැනීම - ලංකාදීප 2011-01-16

No comments:

Post a Comment