Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

නොපිරිහෙන කෙනෙක් වෙන්නට නම්...

Thursday, December 16, 2010 , at 3:21 PM


අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සඳහන් වෙනවා, සිල් රකින කෙනාට මේ ජීවිතේ මේ මේ ආනිශංස ලැබෙනවා කියලා. මේ කරුණු දැනගත්ත කෙනා ධර්මය දන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ ධර්මය දැනගත්තට පස්සේ ‘මේ ධර්මය ඒකාන්තයෙන් සැප විපාක සහිතයි.

කියලා එයා ඒ දහමට පහදිනවා. ඊට පස්සෙ එයා සීලයට එනවා. දැන් එයා නුවණින් කල්පනා නොකළොත් එයාට දැන ගත්ත දේ දැකගන්ට පුළුවන් ද? දැකගන්ට බෑ. ඔන්න එයා දැන් කාලයක් සිල් සමාදන් වෙලා ඉන්නව. එහෙම හිටියට ඒ කිව්ව සැප එයාට තෝර බේරා ගන්න බැරිනම් එයාට සිල් රැකගන්න බැරිවෙනවා. ඇයි එහෙම වෙන්නෙ? එයා හිතනව ‘ මම සීලයට ආව, මට මුකුත් ප්‍රතිඵලයක් නෑනෙ.කියලා. ‘ මට පින් නෑනෙ..’ කියනව. . එය සසඳල බලන්නෙ නෑ දුස්සීල බව නිසා ලැබෙන දුක් සහිත විපාක මට දැන් නෑ කියල. සිල්වත් බවේ ආනිශංස මට ලැබෙනවා කියල සසඳල බලන්නෙ නෑ.

නමුත් සීලයට පැමිණි පුද්ගලයා සිල් රැකීමෙන් මට මේ මේ ආනිශංස ලැබෙනවා’ කියල නුවණින් කල්පනා කළොත්, එයා ඒ සීලය තුළ පිහිටනවා.

එයා සීලය තුළ පිහිටන්නේ ඒ සීලය නිසා සතුටු වෙන කෙනෙක් බවට පත්වෙන නිසයි. එහෙම වුණොත් එයා සීලය අතහරින්නෙ නෑ දිවි හිමියෙන් රකිනව. එයා දන්නවා මේකෙන් මට සැප ලැබෙනවා කියල. මම සීලය බිඳ ගත්තොත්, ඒ හේතුකොටගෙන මට මේ මේ විදිහේ දුක් විපාක ලැබෙනවා කියල එයා දන්නවා. එතකොට එයා පිළිගන්නවා සිල් රැකීමෙන් පින් රැස්වෙනවා. ඒ පිනේ විපාක විදිහටයි මේ සැප ලැබෙන්නේ කියල. එතකොට එයා ධර්මය අහල දැනගත්ත කෙනා බවට පත්වෙනවා. ඊට පස්සෙ එයා ධර්මය දැකගත්ත කෙනා බවටත් පත්වෙනවා. එයා පිරිහෙන්න නෑ. එයාට ඒ ධර්මය නිසා යම් සැපක් සොම්නසක් ඇතිවුණා නම් ඒක නුවණින් තේරුම් ගන්නව.

දැන් බලන්න සිල් බිඳෙන කෙනාගේ හිතට සැපයක් එනව ද? පසු තැවීමක් එනවද? පසුතැවෙනවා, සිල් රකින කෙනාගේ සිත, සතුටට පත් වෙනවා.

එතකොට සිත සතුටු වෙන්නෙ ඒ සීලය මුල් කරගන නේද? එතකොට සිත අපහසුතාවට පත් වෙන්නේ සීලය බිඳුණු නිසා, සිල් බිඳුණු කෙනාගෙ රාග, ද්වේෂ, මෝහ ඇවිස්සෙනව. එතකොට ඒ කිලිටි මුල් කරගෙන එයා අපහසුතාවයට පත්වෙනවා. සිල් රකින කෙනා තුළ රාග, ද්වේෂ, මෝහ පාලනය වෙනව. රාග, ද්වේෂ, මෝහ පාලනය වීම තුළ සිතට සැප ඇතිවෙනවා.

සිතේ නිදහස් බවක් ඇති වෙනවා. එතකොට සිත නිදහස් වුණේ රාග, ද්වේෂ, මෝහ තුනි වීමෙන්, පාලනය වීමෙන් මයි. අන්න ඒකට තමයි නියම ආකාරයෙන් නිදහස්වන සිත කියල කියන්නෙ. ඒ සිත එයා දැක ගත්තොත් ආපස්සට ඒ සිත පිරිහෙන්ට දෙන්ට කැමැති වෙන්නේ නෑ නේද? අන්න ඒක තමයි මෙතෙන්දී අප කියා දෙන්නෙ.

එහෙනම් සිල් රැකීමෙන්, ධර්මය ඉගෙන ගැනීමෙන්, වන්දනාමාන කිරීමෙන්, වත් පිළිවෙත් කිරීමෙන්.මේ හැම දේකින්ම අපේ හිතේ සැප සොම්නස උපදිනවා. අන්න එතකොට අප කල්පනා කළොත් ‘මේ ධර්මයේ හැසිරීම නිසා සුවපහසුවක් මට ඇතිවෙනවා’ කියල. එයා ඒ ධර්මයේ හැසිරීම අතහැර දමන්නෙ නෑ. ඒ ධර්මයේ හැසිරීමට එයා පහදිනව. එයා කැමැතියි ඒ දේවල් කරන්න. ඇයි කැමැති වෙන්නෙ? එයා තුළම උපන් වැටහීමක් තියෙනවා. ඒකට කියනවා “ප්‍රත්‍යක්ෂ” කියල. තව කෙනෙකුගේ උපකාරයකින් තොරව තමන් ම ඒක තේරුම් ගන්නවා.

එතකොට තව කෙනෙකුට කියන්න පුළුවන්ද” නෑ නෑ ඕව කරල හරියන්නෙ නෑ...අතහරින්න” කියල. එහෙම කිව්වට නිවැරැදි වැටහීමට ආපු කෙනා අතහැරල යයිද? නෑ. ඇයි ඒ ? තව කෙනෙකුගේ උපකාරයෙන් තොරවූ දැනුමක් එයාට තියෙනවා. මේ සිත සැපයට පත්වෙන්නෙ මේ විදිහටයි කියල. මුළු ලෝකයම ඇවිල්ල එයාව අනිත් පැත්තට ඇද්දත්, එයාව ඇදල අයින් කරන්න බෑ. එයා තුළ උපන් වැටහීමක් තියෙනවා. මේ සිත පිරිසුදු වෙන්නෙ මෙහෙමයි කියල. ඒකයි එයා පිරිහෙන්නෙ නැත්තෙ.

සිත පිරිසුදු වෙන්නෙ මෙහෙමයි කියල දන්නෙ නැති කෙනාට, වත් පිළිවෙත් කිරීමෙන්, ධර්මය ඇසීමෙන්, දේශනා කියවීමෙන් ධර්ම කථාවෙන් , බණ භාවනා කිරීමෙන්, අපේ සිතට සුවපහසුවක් එනවා කියල තෝරා බේරා ගන්න බෑ. ‘බණ භාවනා කරල පහසුවක් ඇතිවුණා. කියල තේරෙන්නෙ නෑ එයාට. එහෙම නැත්නම් වත් පිළිවෙත් කරනව, ඒත් එයාට සුවපහසුවක් ඇතිවෙනවා කියල තේරෙන්නෙ නෑ. එතකොට දිගින් දිගට ඒක කරයි ද? නෑ. කළ දේට එයා පහදීද පහදින්නෙ නෑ.

ඇයි? ඒ කළ දේ යහපත් විපාක එයා දැක්කෙ නෑ. එහෙම කෙනාට මේ ලෝකයම ඇවිල්ල කියන්න ඕනද ඕක අතහරින්න කියල . නෑ. ලෝකයම යහපතට උනන්දු කළත් එයා ඒක අතහැරගන්නවා.. ඇයි ඒ තමන්ට යහපත තේරෙන්නේ නැති නිසා. අන්න ඒකයි කියන්නෙ යම්කෙනෙකුට කෙලෙස් දුරුවීමෙන් , කෙලෙස් යටපත් වීමෙන් මේ හිතේ ඇතිවන යම් නිදහස් බවක් තිබෙනව නම්, ධර්මයේ හැසිරෙද්දී අන්න ඒක තෝර බේර ගන්න බැරිනම්, ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරිනම්, එයා පිරිහෙන බවට පත් වෙනවා කියල.

ඒ නිසා ධර්මය ඉගෙන ගනිද්දී , බණ භාවනා කරද්දී, පින් දහම් කරද්දී අප තුළ යම් සුවපහසුවක් ඇතිවෙනවා නම්, එහි කම් සැප විඳීමෙන් ඇතිවන සුවපහසුවක්ද? නෑ. අපි ඒක තෝරගන්ට ඕන.

අපි සූත්‍ර දේශනාවක් කියවනකොට හෝ දේශනාවක් අහනකොට හෝ සුවපහසුවක් දැනෙනවා නම් තෝර බේර ගන්ට දක්ෂවෙන්න ඕන, මේ ධර්මය අහනකොට, ධර්මය කියවනකොට මට සැපක් දැනෙනවා නේද? මට සුවයක් දැනෙනවා නේද? කියල. ඒ විදිහට තෝරගන්ට දක්ෂ වෙන්නේ සිහිය තිබුණොත් , නුවණ තිබුණොත් තමයි. සිහිය නැත්නම්, නුවණ නැත්නම් එයාට ඒක තෝරගන්නට බෑ.

එනිසා අප හොඳින් සිහිය උපදවාගෙන තෝරා බේරා ගත්තොත්, අපේ ජීවිත පිරිහෙන්නෙ නැති ජීවිත බවට පත්කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ කාරණාව සිහිකරන්න කල්පනා කළේ, මේ මූලික කාරණාව පුරුදු නොකර අපි කොයිතරම් බණ භාවනා කළත්, අන්තිමට ඒ භාවනාව එපා වෙලා යන එක විතරයි වෙන්නෙ. ඇයි එයාට තෝරා බේරා ගන්න බෑ

මට මේකෙන් පහසුවක් එනව කියල. තෝරා ගන්න බැරි නිසාම අපිට ඒ පහසුව දියුණු කරගන්න බෑ. වැඩිල යන්නෙ නෑ. දැන් අපිට ඒ ධර්මය පුරුදු කරපුවාම සුවපහසුවක් ඇති වෙනව කියල තේරෙනවා නම් අපේ සිතේ පී‍්‍රති ප්‍රමෝදය වැඩිවෙනවා. ඊට පස්සෙ එයා සතුටු සිතින්මයි ඒක කරගෙන යන්නෙ.

එනිසා බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්ට කැමැති කෙනෙක් විසින් ආරම්භයේ සිටම හොඳින් පුරුදු කරගතයුතු ධර්මයක් තමයි ප්‍රත්‍යවේක්ෂා කිරීම, භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. කුසල් දහම්වල ප්‍රත්‍යවේක්ෂා කරන්න යම් කෙනෙක් දක්ෂයි නම්, ඒක බොහෝ උපකාර වෙනවා ධර්මයේ පිහිට පිළිසරණක් ලබා ගැනීම පිණිස, ප්‍රත්‍යවේක්ෂා කිරීමට යම් කෙනෙක් හුරු කරගත්තේ නැත්නම් එයාට ධර්මය තුළ පිහිටන්න බැරිව යනව. එයා ටික කලකින් ධර්මය අතහැර ගන්නව.

ඒනිසා හොඳට තේරුම් ගන්න, අප පුරුදුකරන කාරණා මුල්කරගෙන අපට ලැබෙන සැප පහසුව ගැන. දේශනා ඉගෙන ගනිද්දි වේවා, එහෙම නැත්නම් භාවනා කරද්දි වේවා, වත් පිළිවෙත් කරද්දි වේවා අපේ හිතට පහසුවක් දැනෙන කොට තේරුම් ගන්න ධර්මයේ හැසිරීම නිසා නේද? සැප පහසුව ලැබෙන්නේ කියල. අන්න එයා ඊට පස්සෙ ඒ ධර්මයේ හැසිරීමට කැමැතියි. ඇයි එයා දන්නව සැප ලැබෙනවා කියල. එයා ධර්මයේ හැසිරීම අත්හරින්නේ නෑ.

’ප්‍රත්‍යාවේක්ෂා කරන්න ‘අදක්ෂ කෙනාට ධර්මයට පිවිසෙන්න බැරිව යනවා. යම් කනෙක් ධර්මයට පිවිසුණත්, ධර්මයට බැසගන්න එයාට පුළුවන්කම ලැබුණත් ප්‍රත්‍යාවේක්ෂා කිරීමට හොඳින් පුරුදු නොවුණොත් එයාට ධර්මයෙන් බොහෝ පිහිට පිළිසරණ ලබාගන්නට බැරිව යනවා. ඒ නිසා මතක තියාගන්න මේ ධර්ම මාර්ගය ආරම්භ වන්නේත් ප්‍රත්‍යාවේක්ෂා කිරීමෙන්මයි. ඒවගේම තමයි මේ ධර්ම මාර්ගය අවසන් වන්නේත් ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ඒ ධර්ම මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) දිගටම එයා තෝරා බේරා ගත යුතු වන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් මයි.

නුවණින් කල්පනා කිරීමෙන් ම තමයි එය තෝරා බේරා ගත යුත්තේ. එනිසා අප ප්‍රත්‍යවේක්ෂා කිරීමට හොඳින් දක්ෂ භාවය උපදවා ගත්තොත් මේ ධර්ම මාර්ගයේ බොහෝ දුර ගමනක් අපට යන්න අවස්ථාව ලැබේවි. සියලු දෙනාටම ඒ උතුම් භාග්‍ය උදාවේවා!


නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/11/28/tmp.asp?ID=vision03

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails