ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 1 කොටස

January 3rd, 2010
නමෝ බුද්ධාය කියල අලුත් අව්රුද්දෙ මම ඔන්න මුලින්ම ලියන්න යන්නෙ ආගම සම්භන්ධ දෙයක්. මේක ලියන්න ආසන්නම හේතුව සමර සහ දුකා අයිය කරපු ඉල්ලීම්. මම හීරලුවෙක් කියල බ්ලොග් අවකාශේ කට්ටිය ගොඩ දෙනෙක් දන්නෙ නෑනෙ. ඕං එහෙනම් අද ඒකත් කිව්ව. මහණ වෙලා හිටපු කාලෙ වෙච්ච දෙයක් තමා මේ කියන්න යන්නෙ. මහණ වෙච්චි හැටි ගැන නොකියා කෙලින්ම කතාවට බහින්නම්.

මම මහණ වෙනකොට මට වයස 19 යි. පිරිවෙන් යන්න පටන් ගත්තට පස්සෙ මාව කෙලින්ම 4 වසරට දැම්ම. ඒ කියන්නෙ අවසාන පන්තියට කලින් එක. පාලි, සඟිස්කුරුත ඇරුනම අනිත් වැඩ මට නිකන් කජු කනව වගේ. මගේ මාන්නෙ නිකන් අහස උසට නැගල. මම තමා පිරිවෙනේ ඉන්න පොර. පිරිවෙනේ ඉංග්‍රිසි උගන්නපු ගුරුවරයා පවා බැරි දේවල් අහගත්තෙ මගෙන්. මම තරම් පොරක් තවත් නෑ කියල තමා හිතන් හිටියෙ.

මම මහණ උනේ සියම් නිකායෙ මල්වතු පා‍ර්ශවයේ පන්සලක. පිරිවෙන් ගියේ අමරපුර නිකායෙ පන්සලක. අමරපුර හාමුදුරුවරු එලියට යනකොට දෙවුර පොරවනවා. පන්සලේ ඉන්නකොටත් සිවුර පොරවන්නෙ අමුතු විදියකට. මට හරියට මෙක අල්ලගන්න බැරි උනා. මහ විකාර විදියට තමා මගේ සිවුර පෙරෙව්වෙ.

මගේ මාන්නෙට පලවෙනි පාර ගැහුවෙ අව්රුදු 7ක් වයස සුමංගල පොඩි හාමුදුරුවෝ. සිවුර හරියට පොරව ගන්න බැරුව තටම තටම ඉන්නකොට මේ පොඩි හාමුදුරුවෝ ඇවිත් කියපි

"ඔච්චර මෝරපු උන්නාන්සේ කෙනෙක් වෙලත් සුදත්තට තාම සිවුර ඇඳගන්න බැරිද ?"

හපොයි. කට්ටියම ඉස්සරහ මට කරපු නින්දාව. සුමංගල හාමුදුරුවෝ වයසින් මං වගේ 1/3 විතර ඇති. ඒ උනාට පැවිද්දෙන් මට වඩා මාස 6කට වැඩිමහල්. මගේ මාන්නෙ ඉවරයි. මට හරියට සිවුර අඳින්න කියල දුන්නෙ උන්නාන්සේ තමා.

මේ පින්තූරෙ යටින් රවුම් කරල තියෙන්නෙ සුමංගල හාමුදුරුවෝ. උඩින් රවුම් කරල ඉන්නෙ මම.

පිරිවෙන් ගියේ මම ඒ පන්සලේ නතරවෙලා. ඒ පන්සල නුවර පලාතෙ බොහොම ජනප්‍රිය පන්සලක්. හාමුදුරුවරු 100 කට කිට්ටු වෙන්න ඒකෙ හිටියා. අපි දාන ශාලාවට වඩිනකොට මනණකමේ පිලිවෙලට තමා වඩින්නෙ. ඒ කියන්නෙ මම අන්තිමයා. චූටිත්තන් හාමුදුරුවරු රොත්තක් මට ඉස්සරහින්. මම පස්සෙන් අන්තිමට. උදේ හවස බුදුන් වැඳල ඉවර වෙලා නැගිටින්නෙ වැඩිහිටි පිලිවෙලට එතකොට ඊට බාල ඔක්කොම නැගිට්ට වැඩිහිටියට වඳිනවා. එකෙදිත් මම අන්තිමයා. මම ඔක්කොටම වඳින්න ඕනෙ. මට කව්රුත් වඳින්නෙ නෑ. කොටින්ම කිව්වොත් පන්සලේ බල්ලත් මට කලින් නැගිටිනව. ඕං මගේ මාන්නෙ කුඩේ කුඩු උනේ ඔහොම තමා.

අදට ඉවරයි. තව විස්තර ඕන නම් කොමෙන්ටුවක් දාන්නකො. ඔය යටින් තියෙන පින්තූර වල ඉන්නෙ මමත්වය නැතිකරගන්න බැරිඋන මම වෙමි.



Uncategorized | Comments Jump to the top of this page

Comments are closed.



pink orchidwhite orchids
RAMA 97RAMA 76