ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම II )
January 8th, 2010
මම මේ කියන්නෙ මම මහණ වෙච්ච විස්තර. මේකේ පලවෙනි කොටස කියවන්න මෙතන කොටන්න. පහුගිය කොටස ඉවර උනේ මට අර විකාර ඇඳුම අන්දපු තැනින්. ඔන්න ඉතින් ඒක ඇඳගෙන මම සබේට ආව. ඊලඟට කරන්න තියෙන්නෙ මහණ කම ඉල්ලන එක. ඔතන කියන පාලි පාඨ ගොඩක් තියෙනවා ඒ උනාට මට දැන් ඔක්කොම මතක නෑ. අවුරුදු 5 ක් වෙනවනේ. තුන් සිවුර අරන් ගිහින් ඒක ලොකු හාමුදුරු කෙනෙක්ට දීල මෙහෙම කියනවා.
"සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බජේථමං භන්තේ."
දෙවනුවත්, තෙවනුවත් මෙහෙම ඉල්ලනවා. ඊට පස්සෙ ඒ හාමුදුරුවෝ සිව්රු පටිය කරේ බඳිනවා සංඛේතාත්මකව. මෙන්න පින්තූරෙ පහලින්. ඔය ඔක්කොම කරන්න ඕනෙ උක්කුටිකයෙන් ඉඳන්. අප්පා..... එපා වෙනව එහෙම ඉන්න ගියාම.

ඊට පස්සෙ තියෙන්නෙ සිවුරු ටිකත් අරගෙන ඇතුලට ගිහින් ඒක අඳින එක. එලියට එනකොට කට්ටිය නිකන් මාර අමුතු විදියට තමා බලන්නෙ. ඇයි ඉතින් මුලින්ම සිවුරෙන් දකින්නෙ මේ වෙලාවෙනෙ. ඔන්න මම සිවුරු ඇඳල විනයාචාර්ය හාමුදුරුවො එක්ක එලියට ආපු හැටි. පේනවනෙ කට්ටිය බලන හැටි.

ඊට පස්සෙ ආපහු උක්කුටිකයෙන් ඉඳන් සිල් ඉල්ලන්න ඕනෙ. එතකොට තිසරණ සරණ යනවා දෙපාරකට. පලවෙනි පාර කියන්නෙ "බුද්ධං සරණං ගච්ඡාමි", දෙවනි සැරේ "බුද්ධම් සරණම් ගච්ඡාමි". ඊට පස්සෙ දස සිල් සමාදන් වෙනවා. ඕං ඉතින් ඔච්චර තමා විස්තරේ. ඊට පස්සෙ මම හාමුදුරුවෝ. තරිඳු රොෂාන්ත වන මම එදා සිට බෙල්ලන්විල සුදත්ත හිමි උනා.





