සෝයා උයපු හැටි
August 24th, 2009
සැළකිය යුතුයි:
උයන්න පිහන්න දන්න කට්ටිය අපිට හිනා වෙන්න එපා හොඳේ.
මේක අපි උයපු පළවෙනිම පළවෙනි පාර.
මගෙත් එක්ක මෙහේ ඉන්නව මහේෂ් කියලා කෙනෙක් . එයා ලංකාවෙ ඉඳන් එනකොට සෝයා පැකට් එකක් අරන් ඇවිත් තිබුණා. අපිට මෙහේ චීන කෑම කාල කාල ඇති වෙලා තිබ්බ හින්දා වෙනසකටත් එක්ක සෝයා එක උයලා පාන් එක්ක කන්න තීරණය කලා. ඉතින් සෝයා පැකට් එක අරගෙන කැඩුවා. කඩලා ඉවර වෙලා තමයි උයන හැටි බැලුවේ ( මොනවා හරි ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් ගත්තම වුනත් එහෙමනෙ . පැකිං කඩල ඉවර වෙලානෙ උපදෙස් පත්‍රිකා බලන්නෙ ).
පැකට් එකේ උයන හැටි ගැන විස්තර තිබ්බා ඒක උඩින් පල්ලෙන් බැලුවා. උපදෙස් අංක 1 තිබ්බේ සෝයා ටික හෝදලා මිරිකලා බැද ගන්න හැටි. උපදෙස් අංක 2 පස්සෙ කරන්න බැරුවායැයි කියලා උපදෙස් අංක 1 ක්‍රියාත්මක කරන්න ලැහැස්ති වුනා.
ඉතින් සෝයා ටික පෙඟෙන්න දැම්මාට පස්සෙ තමයි මතක් වුනේ බදින්න තෙල් ඕනෙ කියලා ( උයන්න අවශ්‍ය භාජන එහෙම අපේ ඉන්දියානු යලුවො ටිකකගෙන් කලින් ඉල්ලගෙන තිබ්බෙ ) . මගේ Apartment එකේ ඉන්නවා බංග්ලාදේශ් එක්කෙනෙක්. එයා උයාගෙන තමයි කන්නෙ ගොඩක් දවස් වලට. ඉතින් එයා ගාව තෙල් ඇතිනේ කියලා එයාගෙන් ගිහින් තෙල් ටිකක් මල්ලකට ඉල්ලා ගත්තා. ඒ තෙල් ටික රත් කරනකොට ආපු සුවඳ එච්චර හිතට අල්ලපු නැති හින්දා පොඩ්ඩක් හොයලා බලනකොට තමයි දැන ගත්තෙ ඒක ඔලුවෙ ගාන තෙලක්ලු. එයා ගාව උයන තෙල් තිබිලා නැහැ. මමත් ඉතින් oil කියලා මිසක් cooking oil කියලා නෙවෙයිනෙ ඉල්ලුවෙ.
දැන් මොකෝ කරන්නෙ. ඒ වෙලාවෙ හැටියට තෙල් ටිකක් ඉල්ල ගන්න වෙන දන්න කියන කෙනෙක් හිටියෙ නැහැ. කඩේ ගිහින් තෙල් හොයාගෙන ඇවිත් උයලා කනවට වඩා හොඳයි ඒ ගිය ගමන් කාලම එන එක. ඔන්න එතකොට අපිට ටොපේ ටොප් අයිඩියා එකක් ආවා.
අපි සෝයා එක්ක කන්න කියලා පාන් ගෙඩිය ගෙනෙනකොට ඒත් එක්කම බටර් එකකුත් ගෙනාවා , හදිසි අවස්තාවක් වෙලා උයන සෝයා එක කන්න බැරි වුනොත් ප්‍රයෝජනයට ගන්න කියලා. මාජරින් රත් කලාම වගේ බටර් රත් කලාමත් තෙල් හැදෙයිනෙ කියලා හිතලා බටර් කෑලි ටිකක් අරගෙන තාච්චියට දාල රත් කලා.
අපෝයි , ඒක රත් වෙලා පාප්පයක් වගේ එකක් හැදුනා මිසක් තෙල්නම් හැදුනේ නැහැ.
දැන් ඉතින් මොකෝ කරන්නෙ. බදින step එක bypass කරලා ඊලඟ step එකට ගිහින් මොනව හරි කර ගන්න පුලුවන් වෙයිද කියලා බලනකොට තමයි දැක්කෙ අපි කරල තියෙන මහදැනමුතු වැඩේ . උපදෙස් අංක 2 තියෙන්නෙ උයන හැටි . ඒකෙ තියෙන්නෙ එක්කො බදින්න, එහෙම නැත්තන් උයන්න කියලා . එහෙම නැතුව Steps 2 ක් නෙවෙයි අපිටත් ඇත්තටම ඕනෙ වෙලා තිබ්බෙ හොද්දක් එක්ක උයා ගන්න තමයි. බැදලා පාන් එක්ක කන්න බැහැනෙ.
ඊට පස්සෙ තමයි උපදෙස් අංක 2 යටතේ තිබ්බ උයන හැටි කියෙවුවෙ. උයන්න අවශ්‍ය මිරිස් තුනපහ එහෙම සෝයා එකත් එක්කම චූටි පැකට් වල තිබුනා . හැබැයි ඉතින් ඒකෙ කියලා තිබ්බෙ මිරිස් තුනපහ කුඩු එකතු කරලා පොල් කිරි දාලා කුකුල් මස් උයන ක්‍රමයට උයන්න කියලා. දැන් ආයෙත් ප්‍රශ්න 2යි. එකක් කුකුල් මස් උයන ක්‍රමේ දන්නෙ නැහැ. අනිත් එක තමයි පොල් කිරි නැහැ
මේ වෙනකොට සෝයා ටිකත් හොඳ ගානට පෙඟිලා. ලංකාවෙ ඉඳන් උස්සගෙන ආපු සෝයා පැකට් එක විසි කරන්නත් දුකයිනෙ. අපි ගාව තිබුණා පැකට් කරපු පාස්චරිත දියර කිරි ( Daily Milk packet වගේ ඒවා - පල්ලෙහා පින්තූරෙ බලන්න) . ඒවායේ සීනි රහ ගොඩාක් අඩුයි. කමක් නැහැ වෙන දෙයක් වෙද්දෙන් කියලා සෝයා වලට ඒ කිරි පැකට් එකක් දාලා ඒකට මිරිස් තුනපහ කුඩු එහෙමත් එකතු කරලා හොට් ප්ලේට් එකේ තිබ්බා. ලුණු ටිකකුත් දාන්න මතක් වුනා. අර රත් කරලා පාප්ප වෙච්ච බටර් ටිකට කරන්න දෙයක් නැහැනෙ. ඒකත් ඔන්න ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියල අර භාජනේටම දැම්මා.

මොනවා කරන්නද පොල් කිරි නැති කලට ...
ඔන්න ටික වෙලාවකින් කිරි ටික නටාගෙන ආවා. හොඳ සුවඳකුත් ආවා.පෙනුමත් හොඳට තිබ්බා සෝයා මාලුවක පාටට. හැබැයි කන්න පුලුවන් වෙයිද කියලනම් විශ්වාසයක් තිබ්බෙ නැහැ.

හොද්ද බොර වෙලා
වාසනාවකට වගේ කොහොම හරි අන්තිමට කන්න පුලුවන් විදිහේ මිශ්‍රනයක් හැදිලා තිබ්බා. බොරු නෙවෙයි ඇත්තටම එක මාර රසයි. අමුතුම රසක්. කවදාවත් එහෙම සෝයා මාලුවක් කාල තිබුනෙ නැහැ. මම හිතන්නේ අපේ පාප්ප බටර් එක යි පාස්චරිත කිරි එකයි වෙන්න ඇති ඒ අමුතුම රසට හේතුව.
ඔන්න ඔහොමයි අපි සෝයා උයලා පාන් එක්ක කෑවෙ.
ඔන්න ඔහොමයි අපි සෝයා උයලා පාන් එක්ක කෑවෙ.







